රනිල්ගෙන් කබ්රාල්ට ටොක්කක්: ජනපති රනිල්ගෙන් සමාව ඉල්ලයි

0
19

තමන් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වූයේ පටු දේශපාලනයට නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (මාර්තු 23) උදෑසන පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර  දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

තමන් මෙම සමුළුවට පැමිණයේ රට මුහුණ දී සිටින උග්‍ර ප්‍රශ්නය නිසා බව ත් ඊට සහභාගි නොවුණු විපක්ෂය පරාජය කිරීමට නොවන බව ත් ය.

එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා…

“එක කරුණක් පැහැදිලි කරන්න. මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ ඔබතුමා කැඳවලා තියෙනවා. මට විශේෂයෙන් ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා මේකට එන්න, පරණ යාළුකමටවත් එන්න කියලා. 

අපි හිතුවා මේක වැදගත් කියලා. ඒ නිසා අපි මෙතෙනට ආවා.

මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඇත්ත වශයෙන් ම මේ රටේ තියෙන උග්‍ර ප්‍රශ්නය නිසා. මෙතෙනදී අපි ආවේ නැහැ ආපහු පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ කියලා මේවා කරන්න. අර පටු දේශපාලනයට මහ බැංකු අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ. 

ඒත් මම කණගාටු වෙනවා, එතුමා පටන්ගත්තේ ම ඒක ගිය ආණ්ඩුවේ වැරැද්දක් කියලා. මම ඒකට පිළිතුර දුන්නොත්? එතකොට මොකද්ද වෙන්නේ? ඊළඟටත් පිළිතුරු දෙනවා ද? අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝනේ. එයා ලංකාවට ආවේ නැත්නම් මේ ප්‍රශ්නය තියෙන්නේ නැහැ කියයි. ඕකයි වෙන්නේ. මොනවට ද අපි එතෙනට යන්නේ? 

මම මේ ගැන කියන්නේ එක කාරණයක් විතරයි. අපිට වෙන ප්‍රතිපත්තියක් ගියේ. ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණා. බොන්න තිබුණා. පෙට්‍රල් තිබුණා. මම ඊට වඩා කියන්න යන්නේ නැහැ.

තව එකක් තියෙනවා. මේ කිව්වා අපේ ජයග්‍රහණයක් කියලා. අපි මෙතෙනට ආවේ, විපක්ෂයේ කොටසක් ඇවිල්ලා නැහැ. මම ආවේ ඒ ගොල්ලෝ පරාජය කරන්න නෙමෙයි. මෙතෙනට ඇවිත් අදහස් ප්‍රකාශ කරලා. ඒවා ගිහින් කියලා ඒ ගොල්ලොත් සම්බන්ධ කර ගන්න. අපි මේවායෙන් තොරව ඒ ප්‍රශ්න ගැන කතා කරමු.”

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“ඔබ තුමාගේ හිත රිදිල්ලක් වුණා නම් ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ අර ක්‍රමවේදය එනකොට ඒ අවුරුදු ගාන හින්දා තමයි එතුමා ඒක දැක්වූයේ. එහෙම නැතුව කිසි ම කෙනෙකුට චෝදනා නගන්නට නෙමෙයි. මම ඒකයි මුලින් මා කිව්වේ මේක දේශපාලනික කාරණයක් නෙමෙයි. අවංකව ම ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට සෑම දෙනාගේ ම අදහස් ගන්න කියලා තමයි කතා කළේ කියලා.”