යුක්‍රේනය වෙනුවෙන් සිය නොබෙල් පදක්කම වෙන්දේසි කරන්න රුසියානු මාධ්‍යවේදියෙක් සැරසෙයි

0
89

පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගත් රුසියානු මාධ්‍යවේදී දිමිත්‍රි මුරාටොව් (Dmitry Muratov) සිය නොබෙල් පදක්කම යුක්‍රේන සරණාගතයින්ට සහය දැක්වීම සඳහා වෙන්දේසි කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු හදිසි ප්‍රතිකාර අවශ්‍ය, තුවාල වූ හා රෝගී දරුවන් දැකීමෙන් පසු ඔහු මෙලෙස සිය නොබෙල් පදක්කම වෙන්දේසි කිරීමට තීරණය කර ඇති බව ය.

Novaya Gazeta නම් රුසියානු පුවත්පතේ කර්තෘ වන දිමිත්‍රි මුරාටොව් ඒ බව එම පුවත්පතට අයත් වෙබ් අඩවියේ පසුගිය මාර්තු 22 වන අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සටන් විරාමයක්, සිරකරුවන් හුවමාරු කර ගැනීම සහ මානුෂීය කොරිඩෝවල අවශ්‍යතාව මුරාටොව් එම ප්‍රකාශය මගින් අවධාරණය කර ඇති බව ය.

නොබෙල් පදක්කම වෙන්දේසියෙන් ලැබෙන ආදායම යුක්‍රේනයේ සරණාගතයින්ට ආධාර සපයන රාජ්‍ය නොවන සංවිධානයක් වන යුක්‍රේනියානු සරණාගතයින්ට ආධාර කිරීමේ පදනම වෙත ලබා දෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මුරාටොව් 1993 දී Novaya Gazeta පුවත්පත ආරම්භ කිරීම සඳහා මූලිකව කටයුතු කර ඇති අතර 1995 සිට එහි ප්‍රධාන කර්තෘ ලෙස සේවය කර ඇත.

එම පුවත්පත ආරම්භයේ සිට ම රුසියානු රජයේ දූෂණය, රටේ හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා කර දැඩි ලෙස විවේචනය කළ බව නොබෙල් කමිටුව සඳහන් කර තිබේ.

යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු බලධාරීන් එරට ස්වාධීන මාධ්‍ය කෙරෙහි සිය ග්‍රහණය දැඩි කර ඇති අතර මෙම මස මුලදී එරට නීති සම්පාදකයින් විසින් රුසියානු සන්නද්ධ හමුදා අපකීර්තියට පත් කරන හෝ රටට එරෙහි “ව්‍යාජ” තොරතුරු පැතිරීම අපරාධයක් බවට පත් කරන ලද අබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මර්දනය හේතුවෙන් ඇතැම් මාධ්‍ය ආයතන වසා දැමීමට ත් ඒවායේ මාධ්‍යවේදීන්ට රට හැර යාමට ත් සිදු වී ඇත.

මේ අතර, රුසියානු ආණ්ඩුවේ වාරණය හේතුවෙන් යුක්‍රේනයේ යුද්ධය පිළිබඳ ලිපි තම වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බව මාර්තු මස මුලදී Novaya Gazeta පුවත්පත සඳහන් කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දිමිත්‍රි මුරාටොව් සහ පිලිපීන ජාතික මාධ්‍යවේදිනයක වන මරියා රෙසා ද 2021 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.

රුසියාවේ සහ පිලිපීනයේ ජනතාවගේ භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමට දරන උත්සාහය වෙනුවෙන් ඔවුන් දෙදෙනා ම මෙලෙස නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගැනීමට සමත් වී තිබිණි.