අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට දුන් නියෝගය

0
36

අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ව්‍යවස්ථාවේ විධිවිධාන ඉක්මවා ගොස් ඇති බවට ඉදිරිපත් කොට ඇති පෙත්සම සංශෝධනය කිරීමට පෙත්සම් පාර්ශවයට අවසරය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබන මැයි මස 4 වන දින අමාත්‍ය මණ්ඩලයේ දැනට පවත්නා සංයුතිය පිළිබඳව පැහැදිලි වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (මාර්තු 23) නීතිපතිවරයාට නියෝග කළේ ය.

විනිසුරු එන්.බී. මුර්දු ප්‍රනාන්දු, විනිසුරු ගාමිණි අමරසේකර සහ විනිසුරු ශිැාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම පෙත්සම ගොනු කොට ඇත්තේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මගින් ඉන්ජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා මහතා විසිනි.

නීතිඥ දර්ශන වේරදුවගේ විසින් ඉකුත් 18 වන දින ගොනු කරන ලද මෝසමක් මගින් කරනු ලැබ තිබූ ඉල්ලීමක් පිළිගත් විනිශ්චය මණ්ඩලය පෙත්සම සංශෝධනය කොට යළි ඉදිරිපත් කිරීම සඳහා අවසරය ලබාදුන් අතර එය ලබන මැයි මස 4 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස ත් ඒ සම්බන්ධයෙන් යම් විරෝධතාවක් වෙතොත් මැයි මස 11 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට ත් නියම කළේ ය.

පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතිඥ වේරදුවගේ මහතා කියා සිටියේ, මෙම පෙත්සම ඉකුත් ජනවාරි මස ගොනු කරනු ලැබූ පසුව අවස්ථා 3කදී ම ජනාධිපතිතුමන් විසින් ගැසට් නිවේදන තුනක් නිකුත් කරමින් අමාත්‍ය මණ්ඩල සංයුතියේ යම් යම් වෙනස්කම් සිදු කොට ඇති බව ත් ඒ අනුව, එම පෙත්සමේ අන්තර්ගතය ද සංශෝධනය කිරීමට අවශ්‍යව ඇති බැවින් ඊට අවසර ලබා දෙන ලෙසට ය.

නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පෙනී සිටියා ය.

පෙත්සම යළි ලබන මැයි මස 4 වන දින කැඳවීමට නියම විය.