“සර්ව පාක්ෂික සමුළුවට යන්නේ වාසි ගන්න නොවෙයි” – මහින්ද අමරවීර

0
28

මහජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම සඳහා මිස කිසිදු පක්ෂයකට දේශපාලන වාසි ගැනීමේ අරමුණින් සර්ව පාක්ෂික සමුළුව නොපවත්වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මේ කටයුතු නිවැරදිව සිදුකර ගැනීමට හැකියාව පැවතුණොත් රටේ ජනතාවට සෙතක් විය හැකි බව ත් එසේ නොවුණහොත් මේ ගැටලු තවදුරට ත් ඉදිරියට පවතිනු ඇති බව ත් ඇමතිවරයා කීය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ සමුළුවට සහභාගි නොවූවත් ඔවුන් දෙවැනි වර පැවැත්වෙන සමුළුවට සහභාගි වනු ඇතැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා පැවැසීය. 

ඔවුන් සහභාගි නොවුණ ද ඔවුන්ගේ නියෝජිතයන් පිරිසක් සර්වපාක්ෂික සමුළුවට සහභාගි වන බව ද හෙතෙම කීය.  

රටේ ජනතාව සිය විරෝධය ආණ්ඩුවට පමණක් නොව පාර්ලිමේන්තුවේ සිටින 225ට ම එරෙහිව පළ කරන්නක් බව හෙතෙම පැවසීය. 

එනිසා රටේ ගැටලුවලට විසඳුම් ලබා දීම සියලු දේශපාලන පක්ෂවල වගකීමක් බවද ඇමතිවරයා සඳහන් කළේ ය. 

කතා පැවැත්වීමෙන් මහජන ගැටලුවලට විසඳුම් ලබා දීමට හැකියාවක් නැතැයි ඊයේ (මාර්තු 21) පරිසර අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා කීය.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක් වුව ත් ආණ්ඩුවේ යම් යම් අඩුපාඩු විවේචනය කිරීමට පසුබට නොවන බව ද හෙතෙම පැවසීය. 

මාස ගණනාවකට පෙර මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට කරුණු පෙන්වා දුන් බව පවසන ඇමැතිවරයා ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොවීම නිසා වර්තමානයේ මෙකී ගැටලු සහගත තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බව පැවසීය.