ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගෝලීය නීති සමාගමක සහය පතයි

0
21

රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා කිරීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තාක්ෂණික සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාව ගෝලීය නීති සමාගමක සේවය ලබා ගැනීමට තීරණය කර ඇතැයි බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

රජයේ ඉහළ බලධාරියෙකු උපුටා දක්වමින් එම පුවත් සේවය මේ බව ප්‍රකාශ කර ඇත.

රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පසුගිය වසර දෙක තුළ ඩොලර් බිලියන 2.31ක් දක්වා 70%කින් පහත වැටී ඇති අතර මෙම වසරේ ඉතිරි කාලය තුළ ඩොලර් බිලියන 4ක පමණ ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවී ඇති බව ය.

මේ අතර, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (මාර්තු 22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර අරමුදල සමග කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව තාක්ෂණික උපදෙස් ලබා ගැනීම සඳහා සමාගමක සේවය ලබා ගැනීමට තීරණය කළ බව ය. 

එම ක්‍රියාවලිය මහ බැංකු අධිපතිවරයාගේ සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සහය ඇතිව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි සිදු කරනු ඇති බව අමාත්‍යවරයා එහිදී පැවසීය.   

මේ අතර,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් මස අමෙරිකාවේ වොෂිංටන් නුවර බලා පිටත්ව යාමට නියමිත ය.