“චීන පොහොර නැව අනිවාර්යයෙන් ම ගෙන්වනවා” – ශෂීන්ද්‍ර රාජපක්‍ෂ

0
20

Nirmani Gunarathna,Sawani Sheshadhi

ප්‍රතික්‍ෂ්ප වූ චීන පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැව අනිවාර්යයෙන් ම මෙරටට ගෙන්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ පැවසීය.

මීට පෙර ගෙන් වූ පෙහොර නැවට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් නිසා අලුතින් ගෙන්වීමට නියමිත පොහොර නැවට කිසිදු අමතර මුදලක් ගෙවීමට අවශ්‍ය නොවන බව ද ඇමතිවරයා කීය. 

මුලින් ගෙවූ මුදලට නැවතත් පොහොර ලබා දීමට එම සමාගම එකඟ වූ නිසා ඉන් මෙරටට විශාල ලාභයක් හිමිවන බව ද හෙතෙම පැවසීය.

අලුතින් ගෙන්වන බව කියන පොහොර නැවේ පොහොර සාම්පල් මෙරටදී සිදුකරන පරීක්‍ෂණවලදී ප්‍රමිතියට නැති බවට තහවුරු වුවහොත් එය ද ප්‍රතික්‍ෂේප කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ පැවසීය. 

චීන පොහොර සමාගමේ ඉල්ලීමට අනුව පොහොර නැවේ සාම්පල් විදේශීය රසායනාගාරයකදී පරීක්ෂා කෙරුණද මෙරට නීති හා අණපනත්වලට අනුකූලව දේශීය රසායනාගාරයකදී ද පරීක්‍ෂා කෙරෙන බව ඇමතිවරයා කීය. 

යම් හෙයකින් මෙරට ශාක නිරෝධායන නීතිවලට අනුගත නොවන ක්ෂුද්‍ර ජීවීන් එම සාම්පල්වල සිටින බව හෙළි වුවහොත් එම පොහොර නැව ආපසු හරවා යවන බව ද හෙතෙම පැවසීය. 

ක්ෂුද්‍ර ජීවීන් නොමැති කාබනික පොහොර ලොව කොතැනකවත් නොමැති බව ඇමතිවරයා කීය.

කාබනික පොහොර තොගවල මෙරට පසට හානිදායක ක්ෂුද්‍ර ජීවීන් සිටිනවා ද? නැද්ද? යන්න පමණක් සොයා බැලිය හැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය. 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (මාර්තු 21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය. 

මෙවර ශාකවල මුලට යෙදිය හැකි දියර පොහොර වර්ගයක් ගෙන්වීමට ද අවධානය යොමුව ඇතැයි ශෂින්ද්‍ර රාජපක්‍ෂ කීය. 

දින විසිහයක් තුළ එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බව ද හෙතෙම තවදුරට ත් පැවසීය.