”ඉන්දියාවෙන් සල්ලි ගන්න ගහපු ගිවිසුම් රටට හෙළි කරන්න” – ඇල්ලේ හිමි

0
20

Kumudu Jayawardana,Kanchana Wijayabandara

ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් 3ක් පිළිබඳව වහා ම ජනතාවට හා පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

උන් වහන්සේ මේ ඉල්ලීම කර ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

උන් වහන්සේ සඳහන් කර ඇත්තේ, අදාළ ගිවිසුම් අත්සන් කරන බවට ඉන්දියාවේ හින්දුස්ථාන් පුවත්පත කරුණු අනාවරණ කර ඇති බව ය.

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ණයක් වශයෙන් ලබා ගැනීමේදී අත්සන් කරන ලද ගිවිසුම මෙතෙක් රටට අනාවරණ කර නොමැති බව උන් වහන්සේ පෙන්වා දෙති.

මේ අතර, ශ්‍රී ලංකාව හා චීනය අතර හිටි හැටියේ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති බව ත්, මුදල් සොච්චමක් වෙනුවෙන් උතුරු නැගෙනහිර හා රටේ වෙනත් පළාත්වල තිබෙන ජාතික සම්පත් කොල්ල කෑමට හෝ පාවා දීමට මග පාදන ඕනෑ ම කුමන්ත්‍රණයකට හෝ සැලැස්මකට එරෙහිව නැගී සිටීමට තමන් සුදානම් බව ත් එම ලිපියෙහි සඳහන් කර තිබේ.

*අදාළ ලිපිය මෙතැනින් බලන්න…

මේ අතර, එම ගිවිසුම් සම්බන්ධයෙන් අද (මාර්තු 22) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ද මාධ්‍යවේදියෙක් විමසීමක් කළේ ය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, සම්ප්‍රදායිකව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික වශයෙන් සුහදතාව තහවුරු කර ගැනීම සහ ආරක්ෂාව පිළිබඳව පුහුණු වැඩසටහන් වැනි කරුණු පමණක් සිදු කරන බව ය.

එසේ නොමැතිව රටේ සම්පත් විකිණීම පිළිබඳව ගැටලුසහගත කරුණු ගිවිසුමකට ඇතුළත් වන්නේ නම්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.