රෝගී ජීවිත මරණ 3ක් මැද

0
27

පවතින ආර්ථික අර්බුදය තුන් පැත්තකින් රෝගී සත්කාරක සේවාවන්ට බලපාන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.

එයින් ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ ඖෂධ ගෙන්වීම සඳහා ඩොලර් නැතිවීම යැයි එම වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ‘මව්බිම’ට පැවසීය.

එමෙන් ම, ගිලන් රථවලට ඉන්ධන ලබා ගැනීම ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් එය රෝගී ජීවිත අනතුරේ හෙළන අවදානමක් බවත් හෙතෙම කීවේ ය.

විදුලිය කපා හැර ඇති අවස්ථාවල රෝහල්වලට විදුලිබලය ලබා ගැනීම සඳහා ජෙනරේටර් ක්‍රියාත්මක කරවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම මේ වනවිටත් බොහෝ රජයේ රෝහල්වලට බලපා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

එමෙන් ම, සේවයට පැමිණෙන සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබා ගැනීම ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ත් එය ද රෝගී ජීවිත අනතුරේ හෙළීමක් බව ත් හෙතෙම සඳහන් කළේ ය.

රජයේ රෝහල් බොහෝමයක මුළුතැන්ගේ ආහාර පිළියෙල කිරීම් සිදුකරන්නේ ගෑස්වලින් බව ත් මේ වනවිට සමහර රෝහල්වල ආහාර පිළියෙල කිරීම් නවතාලීමට සිදුව ඇති බව ත් පෙන්වා දුන් වෛද්‍ය චමල් සංජීව, පවතින ප්‍රශ්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට ත් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දන්වා යැවීමට ත් කටයුතු කළ බව කීවේ ය.

එමෙන් ම, මෙසේ රෝගී සත්කාරක සේවා කඩා වැටීම බරපතළ ජාතික ප්‍රශ්නයක් බැවින් දේශපාලනය පසෙකලා මේවාට විසඳුම් සෙවීමට එක්වන්නැයි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ සියලු වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේ ය.