රාජ්‍ය ඇමති කනක හේරත්ට එල්ල වූ බව කියන ප්‍රහාරයේ ඇත්ත නැත්ත

0
24

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට කෑගල්ල – රන්වල, අලුත් පාර හන්දිය ආසන්නයේ ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාවගෙන් බරපතළ විරෝධයක් එල්ල වී ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

එම වාර්තා සඳහන් කළේ, ‘කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ ප්‍රධාන නියෝජිතයා’ බව පවසන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද (මාර්තු 21) උදෑසන කෑගල්ල රන්වල හන්දිය පසුකර යාමේදී ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි ජනතාව ඔහු ගමන් ගත් රථයට විරෝධය දක්වා ඇති බව  ය.

එහිදී රාජ්‍ය ඇමතිවරයා සිය රථය නොනවත්වා ධාවනය කිරීමට උත්සහ දරා ඇති අතර එහිදී ගෑස් පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ඔහු අත තිබූ ගෑස් සිලින්ඩරයකින් එම රථයට පහර දුන් බවට වාර්තා වන බව අදාළ මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූයේ ද යන්න mawbima.lk වෙබ් අඩවිය කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ, එය සාවද්‍ය බව ය.

එමෙන් ම, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අදාළ ස්ථානයට පැමිණ නොසිටි බව ද කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් තවදුරට ත් තොරතුරු දැන ගැනීම සඳහා ‘මව්බිම’ වාර්තාකරුගෙන් අපි විමසීමක් කළෙමු.

එහිදී ඔහු ප්‍රකාශ කළේ ද එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර නිවැරදි නොවන බව ය.

මෙම සිදුවීම ඇති වූ බව කියන ගෑස් අලෙවි සල අසල, ගෑස් මිල දී ගැනීම සඳහා අද උදෑසන පුද්ගලයින් 300 දෙනෙකු පමණ පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය.

එම අවස්ථාවේදී අදාළ අලෙවි සලේ සේවකයින් ගෑස් නොමැති බවට ප්‍රකාශ කිරීම ත් සමග එම ස්ථානයේ සිටි පිරිස විනාඩි 45ක පමණ කාලය විරෝධතාවක නිරත වී තිබේ.

ඊට පෙර දා රාත්‍රියේ ගෑස් නිකුත් කළේ නම් අද උදෑසන ගෑස් නිකුත් නොකරන්නේ ඇයි ද යන්න පැමිණ සිටි පිරිස එහිදී ප්‍රශ්න කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.

එම අවස්ථාවේදී පොලිසිය මැදිහත්ව පැමිණ සිටි පිරිසෙන් දෙදෙනෙකු ද රැගෙන ගොස්, ගෑස් ගබඩාව පරීක්ෂා කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා එම ස්ථානයට පැමිණ නොසිටි බව ය.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට මෙවැනි ප්‍රහාරයක් එල්ල වූයේ ද යන්න සම්බන්ධයෙන් mawbima.lk වෙබ් අඩවියට මෙතෙක් ස්වාධීනව තහවුරු කර ගැනීමට නොහැකි විය.