බොරැල්ලේ අත්බෝම්බය: රක්ෂිත බන්ධනාගාරගත කළ විශ්‍රාමික වෛද්‍යවරයාට ඇප

0
20

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික වෛද්‍ය ෂර්ලි හේරත් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් අද (මාර්තු 21) සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

එම ඇප ඉල්ලීම කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිට තිබේ.

ඒ අනුව, නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, සැකකරු මුලින් ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණ ද මේ වන විට එම චෝදනා පවත්වා ගෙන නොයාමට පැමිණිල්ල තීරණය කර ඇති හෙයින් මෙම ඉල්ලීම මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ය.

එමෙන් ම, සැකකරුට එරෙහිව පීඩාකාරී ආයුධ පනත යටතේ චෝදනා පවත්වාගෙන යන එයින් මෙම ඇප ඉල්ලීම මහාධිකරණයට සලකා බැලීමට හැකියාවක් පවතින බව ත් පෙත්සම්කාර සැකකරුගේ පාර්ශවය විසින් කරුණු දක්වනු ලැබ ඇති බව ත් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විය යුතු බවට ත් නියෝග කර තිබේ.

තව ද සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බව ත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බව ත් විනිසුරුවරයා නියෝග කර ඇත.

එම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙස ද විනිසුරුවරයා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබ තිබේ.