බලශක්ති ඇමතිගේ රියැදුරෙක් ඝාතනය කෙරේ

0
19

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියැදුරෙකු අද (මාර්තු 21) සවස පොලු මුගුරුවලින් සහ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැස්බෑව – මාවිත්තර, ගම්මානවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙකි.

ඝාතනයට ලක් වූ රියැදුරාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කළ තරුණයෙකුට ඔහු විසින් සෙමෙන් යතුරු පැදිය ධාවනය කරන ලෙස අවවාද කිරීමක් සිදු කර ඇත.

ඊට උරණ වූ එම තරුණයා ඔහුගේ නිවසට ගොස් තව ත් පිරිසක් සමග පැමිණ මෙලෙස බලශක්ති අමාත්‍යවරයාගේ රියැදුරාට පොලු මුගුරුවලින් පහර දී තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.

බරපතළ තුවාල ලද රියැදුරා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසි අද රාත්‍රී එම ප්‍රදේශයේ නිවෙස් කිහිපයක් සෝදිසි කර තිබුණ ද සැකකරුවන් ප්‍රදේශය හැර පළා ගොස් ඇතැයි පොලිසිය පැවසීය.

කැස්බෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.