නාවල ඉන්ධන පිරවුම්හල් කොල්ලයේ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් දැලේ

0
39

මිරිහාන – නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට නාදුනන පිරිසක් පැමිණ එහි සේවකයින්ට පහර දී මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (මාර්තු 19) දිනයේදී මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් සමග එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලග්‍රෑම් 300ක් සොයාගෙන ඇති අතර සැකකරුවන් විසින් අපරාධය සිදු කිරීම සඳහා පැමිණි ත්‍රිරෝද රථය, කඩු 4ක් සහ කොල්ලකන ලද මුදල් රුපියල් 10,000ක් සොයා ගෙන ඇති බව පොලිසිය පැවසීය.

ඔවුන් දෙදෙනා වයස අවුරුදු 24ක් සහ 37ක් වන මොරගස්මුල්ල සහ නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් දෙදෙනා අද (මාර්තු 20) දින නුගේගොඩ මාහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත ය.

මාර්තු 18 වන දින නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පිරිසක් එහි සේවකයින්ට කඩුවලින් පහර දී මුදල් රුපියල් 250,213ක් කොල්ලකා පළා ගොස් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.