ලංකාවේ පරිගණක අපරාධ දෙපාර්තමේන්තුවේ කම්පියුටර් නෑ

0
30

සංචාරක වීසා මත මෙරට රැඳී සිටින නයිජීරියන් ජාතිකයන් ලංකාවෙන් පිටුවහල් කිරීමට අවශ්‍ය නීති සකස් කරන්නැයි පරිගණක අපරාධ විමර්ශන ඒකකය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

පරිගණක අපරාධ පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශනවලදී ඊට සම්බන්ධ බොහෝ සැකකරුවන් ලංකාවේ වෙසෙන නයිජීරියානුවන් බැවින් පරිගණක අපරාධ විමර්ශන අංශය මෙම ඉල්ලීම කර තිබේ.

පරිගණක අපරාධ විමර්ශන ඒකකයට වසරක් ඇතුළත මෙසේ පැමිණිලි 5,400ක් ලැබී ඇතත් එම සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 170 දෙනෙකු පමණි.

රුපියල් කෝටියකට වඩා මූල්‍ය අපරාධ වාර්තා වී ඇති මෙම පැමිණිලිවලින් වැඩි ම සංඛ්‍යාවක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මෙම පරිගණක අපරාධවලට සම්බන්ධ සැකකරුවන්ගෙන් සියයට 25ක් නයිජීරියානුවෝ වෙති. 

අයුතු අයකිරීම්, අනවසර පිවිසීම්, ලිංගික හිංසන, අන්තර්ගත වෙනස්කිරීම්, අපවාද, සයිබර් ත්‍රස්තවාදය යන කාණ්ඩ යටතේ පිළිවෙළින් පැමිණිලි 670ක්, 370ක්, 260ක්, 400ක්, 1,400ක් හා 20ක් ලැබී තිබේ.

කෙසේ වෙතත් මෙම අපරාධ සම්බන්ධ විමර්ශනවලට අවශ්‍ය පරිගණක එම ඒකකයට ප්‍රමාණවත් නැති අතර එම නිලධාරීහු බොහෝ දෙනෙක් ඒ සඳහා සිය පෞද්ගලික පරිගණක භාවිත කරති.