පාට පක්ෂ අභිභවන ජන කැරැල්ලක් අත ළඟ: ඉහළ තැනකට බුද්ධි වර්තාවක්

0
38

ආර්ථික අර්බුදය උග්‍රවීම හේතුවෙන් නිර්මාණය වී ඇති ආණ්ඩුකරණයේ කඩා වැටීම හමුවේ දේශපාලන පක්ෂ අභිභවා යන බහුජන විරෝධයක් රට පුරා බුර බුරා නැගෙමින් පවතී. 

දේශපාලන පක්ෂවලට පවා සංවිධානය කරගත නොහැකි අයුරින් අසංවිධිත ලෙස දියත් වෙමින් පවතින ආණ්ඩුවට එරෙහි මෙම විරෝධතා ගැන මේ වනවිටත් රාජ්‍ය බුද්ධි අංශ විසින් දේශපාලන විධායකයට කරුණු වාර්තා කරනු ලැබ තිබේ.

ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශයක් කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට නිශ්චිත තීන්දුවක් ගැනීමටත් මෙම පසුබිම ද ප්‍රධාන හේතුවක් වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවසීය. 

මෙම තත්ත්වය හේතුවෙන් ආණ්ඩුකරණයේ හෙට දවස ගැන පවා අවිනිශ්චිතභාවයක් හටගෙන ඇතැයි කී හෙතෙම, අර්බුදයට න්‍යායික විසඳුම් සොයන්නන්ට පවා සම්මුතියකට පැමිණීමට නොහැකිවීමෙන් එය තවදුරටත් උග්‍ර කර ඇතැයි පැවසීය. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී දේශපාලන පක්ෂ කිහිපයක ම ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වූයේ පක්ෂ සංවිධාන යාන්ත්‍රණය පරයමින් ජනතාව අසංවිධානාත්මක ලෙස ස්වයං තීන්දු ගනිමින් සිටින බවත් මේ ගැන සිය පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවලදී ගැඹුරින් අවධානය යොමු කර ඇති බවත් ය. 

විශේෂයෙන් ම මීට වසරකට පමණ පෙර කොවිඩ්  වසංගත සමයේ අර්බුදකාරී කාලපරිච්ඡේදයේදී හා ජාතික සම්පත් සම්බන්ධ දේශපාලන තීන්දුවලදී වෘත්තීය සමිති හා අභිලාෂ කණ්ඩායම් ජනතාවට නායකත්වය දුන් නමුත් මේ වනවිට ඊට වෙනස් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව තමන් පිළිගන්නා බවත් ඔවුහු පැවසූහ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර ඇමතිවරයා පසුගිය දා ප්‍රසිද්ධියේ ම පැවැසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙහෙයවන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකට වුවත් සහභාගි වන තරමට ජනතාව ප්‍රකෝපකාරී වී ඇති බව ය. 

ප්‍රවීණ සමාජ විද්‍යාඥයෙකු ලෙස සැලකෙන මහාචාර්ය සිරි හෙට්ටිගේ ‘මව්බිම’ට පැවසුවේ චිත්තවේග මත පදනම් වූ මෙම මහජන විරෝධතා ඇතැම් විට සමාජය පිළිගත් වටිනාකම් බිඳ වැටෙන තත්ත්වයක් හෙවත් අනෝමීය තත්ත්වයක් කරා වුව වර්ධනය විය හැකි බව ය. ආර්ථික අර්බුදයේ අතුරු ඵල ලෙස පැන නැගී ඇති ඉන්ධන, විදුලිය අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිවීමේ ප්‍රශ්නය මිනිසුන්ගේ මූලික ම අවශ්‍යතාව වන ආහාර සම්පාදනයට බලපෑමෙන් දරුණු සමාජ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් මහාචාර්ය හෙට්ටිගේ, පන්ති භේදයෙන් තොරව සියලු සමාජ තීරු එක ලෙස පහර කන තත්ත්වයක් දක්වා එය වර්ධනය වී ඇතැයි අවධාරණය කළේ ය. 

ජීවන වියදම සමග උද්ධමනය ඉහළ යාම එකවිට සිදුවෙද්දී ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව පහළ වැටීම නිසා හෙට දවස ගැන අපේක්ෂාභංග වූ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද එය රටක සමාජ ක්‍රමය පවත්වාගෙන යාමට පවා නරක ලෙස බලපානු ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය. 

මේ අතර, ඉන්ධන හා විදුලිය ප්‍රශ්න මුල් කරගනිමින් කොළඹ නාගරිකයන් කොහුවල, නුගේගොඩ, මහරගම ආදී පෙදෙස්වල ආරම්භ කළ ක්ෂණික විරෝධතා මේ වනවිට ගම් දනව් කරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර ජාත්‍යන්තර ජනමාධ්‍ය රැසක ඇස ඊට යොමු වී තිබේ.