ගෙදර බත ත් නෑ කඩේ බත ත් නෑ

0
53

අඛණ්ඩව විදුලි කප්පාදු, ගෑස් හිඟය සහ භූමිතෙල් හිඟය මත ඉහළ පන්තියේ සිට දුගී දුප්පත් පැල්පත දක්වා මිනිසුන්ට සිය දෛනික ආහාර පිළියෙල කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව නන්දෙසින් වාර්තා වේ.

මේ නිසා බොහෝ දෙනාට සිය තුන්වේල වෙනදා සේ ලබා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

විශේෂයෙන් කොළඹ රැකියාවට විත් බෝඩිං හෝ කුලී නිවෙස්වල සිටින බහුතරයක් සිය ආහාරපාන සිය තාවකාලික නිවසෙහි හෝ කාමරයෙහි ගෑස් නොමැතිව සපයා ගැනීමට නොහැකිව මෑතක් වන තෙක් ආහාරසල්වලින් ගැනීමට පුරුදුව සිටි අතර ගෑස් අර්බුදය හමුවේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආහාරසල් ද වසා දැමීම මත ඔවුන්ගේ ආහාර වේල් සොයා ගැනීම දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්ව ඇති බවට ඔවුහු මැසිවිලි නගති.

ඔවුන්ගේ වියදමට සරිලන ලෙස වැටුප් ද ඉහළ නොයාම මත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි මට්ටමක් උද්ගතව ඇත්තේ දිනෙන් දින අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට නඟින නිසා බවට ද ජනතාව මැසිවිලි නගති.

පිසූ ආහාරවල ද මිල අධික ලෙස වැඩි වී ඇති බව ත් මේ තත්ත්වය මත කඩෙන් කෑම ද මේ මොහොතේ විශාල ආර්ථික අභියෝගයක් බවට ද ජනතාව මැසිවිලි නගති. බොහෝ ආහාරපාන සල්වල සිය ආහාර වර්ගයන්හි ගුණාත්මකභාවය ද අසීමිත ලෙස පහත හෙළා තිබේ.

මේ තත්ත්වයන් මත නිර්ධන පාන්තිකයන් ද මධ්‍යම පාන්තිකයන් ද සිය ආහාර වේල් අඩු කරමින් එහි ගුණාත්මකභාවය අඩු කරමින් කෙසේ හෝ එදිනෙදා බඩ පුරවා ගැනීමක් පමණක් සිදුකරන බවට වාර්තා වේ.

මින් වඩා බැටකනු ලබන්නේ ගැබිනි මාතාවන්, කිරි දෙන මවුවරුන් හා කුඩා දරුවන් බව ත් ඔවුන්ගේ පෝෂණය දිනෙන් දින හීන වෙමින් පවතින බවට සෞඛ්‍ය අංශද අනතුරු අඟවති. 

බොහෝ දෙනා දින කිහිපයකට අවශ්‍ය මස්, මාළු, එළවළු, පලතුරු ආදිය ශීතකරණවල එක්රැස් කොට තබා ගන්නා අතර විදුලි කප්පාදුව හේතුවෙන් අධික මිලක් දී රැගෙන එන එම ආහාර ද්‍රව්‍ය ද නරක්වීමේ අවදානමක් ද මතුව තිබේ.

මේ නිසා බොහෝ දෙනා මස්, මාළු, පලතුරු ආදිය නිවස්වලට මිල දී නොගෙන සිටීමට ද වගබලාගෙන ඇත.

සුපිරි පෙළැන්තියේ සේ ම ඇතැම් මධ්‍යම පාන්තිකයන් විදුලි උපකරණ ආශ්‍රයෙන් ඉවුම් පිහුම් කරන අතර විදුලි කප්පාදුව සහ ගෑස් අර්බුදය නිසා ඔවුහු ද දැඩි පීඩාවට පත්ව සිටිති.

මේ තත්ත්වය ඉදිරියේදී රට පෝෂණ ඌනතාවකට ලක් කිරීමක් බව ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.