“22 වන දා සිට රාජ්‍ය අංශයේ සියලු ඉදිකිරීම් නතර කරනවා” – ජාතික ඉදිකිරීම් සංගමය

0
28

රජයෙන් අයවීමට ඇති රුපියල් බිලියන දෙසීයක මුදල මෙතෙක් නොලැබීම හේතුවෙන් ලබන 22 දා සිට තම සංගමය රාජ්‍ය අංශයේ සිදු කරන සියලු ඉදිකිරීම් නවතා දමන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි ‘මව්බිම’ට පැවසීය.

මෙම හිඟ මුදල් ගෙවීමට සහන කාලයක් ලබා දුන්න ද, රජයෙන් ඒ සඳහා කිසිදු අවධානයක් යොමු කර නැති බවත් ලක්ෂ 12කට අධික සේවක සංඛ්‍යාවකට වැටුප් ගෙවීමට නොහැකි වීම සහ දිනෙන් දින ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මත මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව ත් හෙතෙම කීය. 

ඒ අනුව, කිලෝමීටර් ලක්ෂයේ මහා මාර්ග ව්‍යාපෘතිය, ළඟ ම පාසල හොඳ ම පාසල ව්‍යාපෘතිය, පළාත් මට්ටමින් සිදුකරන ව්‍යාපෘති සහ දිස්ත්‍රික් මට්ටමින් සිදුකරනු ලබන ව්‍යාපෘති වැනි විශාල ව්‍යාපෘති ගණනාවක් මේ හේතුවෙන් නතර කර දමන බව සභාපතිවරයා සඳහන් කළේ ය. 

ඉන්ධන මිල ඉහළ දැමීම මත ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරගත නොහැකි බව ත් මේ වනවිට යකඩ ඇණයේ සිට සියලු ම අමුද්‍රව්‍ය සියයට පනහකින් පමණ ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පැවසීය. 

පාලකයන්ගේ අවිධිමත් කළමනාකාරීත්වය හේතුවෙන් තවතව ත් වියදම් වැඩිවන බව ත් එය අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන එන නැව් සඳහා ප්‍රමාද නැව් ගාස්තු ලෙස ඩොලර් ලක්ෂ 40ක් ගෙවීම තුළින් හොඳහැටි පෙනෙන බව ත් ඔහු කීය. 

2024 වසර වනවිට පාලම් 10,000ක්, ගුවන් පාලම්, අධිවේගී මාර්ග සහ වෙරළබඩ මාර්ග වැනි විශාල ඉදිකිරීම් ප්‍රමාණයක් නිම කිරීමට නියමිතව තිබුණ ද ඒ කිසිදු ව්‍යාපෘතියක් මෙම අර්බුදකාරී තත්ත්වය මත කිරීමට නොහැකි යැයි සභාපතිවරයා සඳහන් කළේ ය.