ඩිෆෙන්ඩර් පිරිවරාගෙන කල්පිටියට ගිය යතුරුපැදි සවාරිය ගැන පොලිසිය කියන කතාව

0
27

රථ වාහන ධාවනයට බාධා පමුණුවමින් හා මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල කරමින් කුලියාපිටියේ සිට කල්පිටිය දක්වා ඊයේ (මාර්තු 17) දින සංවිධානය කර තිබූ යතුරුපැදි සවාරියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයෙන් පොලිසිය සඳහන් කර ඇත්තේ, මේ පිළිබඳව මහජනතාවගෙන් එල්ල වූ විරෝධය සහ කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම මත කල්පිටිය සිට අනුරාධපුර දක්වා පැවැත්වීමට තිබූ යතුරුපැදි සවාරිය නැවැත්වීමට පොලිසිය තීරණය කර ඇති බව ය.

“ස්පින් රයිඩර්ස් ක්ලබ්” නමැති පුද්ලික යතුරුපැදි සමාජයක් මගින් මහරගම අපේක්ෂා රෝහලට සිදු කළ මුදල් පරිත්‍යාගයක් හා කල්පිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෙදාදීමේ වැඩසටහනකට සමගාමීව මෙම යතුරුපැදි සවාරිය සංවිධානය කර ඇති බව පොලිසිය පැවසීය.

පොලිසිය අදාළ නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ, එම යතුරුපැදි සවාරිය මාර්තු 17 වන දා සිට මාර්තු 19 වන දා තෙක් මීරිගම සිට කල්පිටිය හරහා ඉන් පසු අනුරාධපුර දක්වා පැවැත්වීමට අදාළ සංවිධානය ශ්‍රී ලංකා පොලිසියෙන් අවසර ඉල්ලා තිබූ බව ය.

ලියාපදිංචි පුද්ගලික සංවිධානයක් ලෙස හා සමාජ සේවා කාර්යයකට අදාළව නීත්‍යනුකූලව සිදු කර තිබූ ඉල්ලීමක් බැවින් නියමිත කොන්දේසිවලට යටත්ව අදාළ රජයේ ගාස්තු අයකිරීමෙන් පසුව ඒ සඳහා අවසර ලබාදුන් බව පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කරන්නේ, ඔවුන් වෙත ලබාදෙන ලද ප්‍රධාන කොන්දේසි අතර සහභාගිවන්නන් සඳහා වලංගු රියැදුරු බලපත්‍රයක් තිබීම, නියමිත පරිදි ආරක්ෂක හිස් වැසුම් පැළඳ සිටීම, යතුරුපැදි ලියාපදිංචිය හා රක්ෂණය කර තිබීම, යතුරුපැදි නියමිත ධාරිතාව නොඉක්මවීම, සියලු ම මාර්ග නීති රීතිවලට අවනතව ධාවනය, ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම සංවිධායක මණ්ඩලය දැරීම, රජයේ හෝ පුද්ගලික අංශයේ දේපළකට අලාභ වුවහොත් සංවිධායක මණ්ඩලය එය ප්‍රතිපූර්ණය කිරීම යන කොන්දේසි ද ඇතුළත් කර තිබූ බව ය.

එමෙන් ම, පොලිස් යතුරුපැදි සහ නිලධාරීන් සඳහා රජයට අයවිය යුතු ගාස්තු ද අය කර ගැනීමෙන් පසු යතුරුපැදි ගමන් ගන්නා මාර්ගය ආවරණය වන පොලිස් කොට්ඨාසවල රථ වාහන නිලධාරීන්ට මාර්ග ආරක්ෂාව සලසන ලෙස අවශ්‍ය උපදෙස් ලබාදුන් බව ද පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ, අදාළ පිරිස් නීතියට පටහැනිය කටයුතු කරන්නේ නම් අවහය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද දැනුවත් කළ බව ය.

එසේ වුව ද මේ පිළිබඳව මහජනතාවගෙන් එල්ල වූ විරෝධය සහ කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම මහත කල්පිටිය සිට අනුරාධපුර දක්වා පැවැත්වීමට තිබූ යතුරුපැදි සවාරිය නැවැත්වීමට පොලිසිය තීරණය කර තිබේ.

එම නිවේදනයෙන් පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ, අදාළ පිරිස් නීතියට පටහැනිව කටයුතු කර ඇත්නම් ඊට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කෙරෙනු ඇති බව ය.