“ඊයේ ලැබුණු ගෑස් දින 3න් ඉවරයි”: ඊළඟ නැව එන දවස ගැන සමාගම කියයි

0
23

ගෑස් රැගත් තව ත් නෞකාවක් සඳුදා වන විට මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

mawbima.lk කළ විමසීමකදී එහි ප්‍රකාශයෙක් මේ බව තහවුරු කළේ ය.

ඒ අනුව, බොහෝ දුරට ගෑස් මෙට්‍රික්ටොන් 3,000-3,500 අතර ප්‍රමාණයක් අදාළ නෞකාව මගින් මාලදිවයිනේ සිට මෙරටට රැගෙන එනු ඇති බව ඔහු පැවසීය.

“ගොඩක් දුරට හෙට වගේ වෙද්දී මාලදිවයිනෙන් අපේ අනෙක් නැවට ගෑස් පටවනවා. එතකොට ඉරිදා හෝ සඳුදා වගේ වෙනකොට මෙහෙට එනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. මේක ඉවර වෙන දවසට අරක එනවා.”

ඔහු සඳහන් කළේ, ඊයේ (මාර්තු 17) මෙරටට ගොඩබාන ලද ගෑස් තොගය දින තුනකට පමණ ප්‍රමාණවත් වන බව ය.

ගෑස් බෙදා හැරීම අද (මාර්තු 18) ආරම්භ වුව ද කොළඹින් බැහැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට මෙතෙක් ගෑස් ලැබී නොමැති බව එම ප්‍රදේශවල ජනතාව චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයා සඳහන් කළේ, එම ප්‍රදේශවලට අද රාත්‍රිය වන විට ගෑස් සිලින්ඩර ලැබෙනු ඇති බව ය. 

නව ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම පිළිබඳව ද අපි ඔහුගෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, නව ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම මැයි මාසය වන විට සිදුවනු ඇති බව ය.

“අලුතෙන් නිකුත් කරන්නේ නැහැ. ඒක ගොඩක් දුරට මැයි වගේ වෙයි. මැයි වෙනකොට ලංකාවට සිල්න්ඩර් ලක්ෂ 5ක් වගේ ප්‍රමාණයක් අපි ගෙන්නනවා අලුත් ඒවා. පහුගිය අවුරුදු 3ක කාලය පුරාවට ම අලුත් සිලින්ඩර් එකකවත් ලංකාවට ගෙන්නලා නැහැ.”