ඉන්දියාවෙන් ගෙනා අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන වෙළෙඳ ඇමති ගත් තීරණය

0
45

කොළඹ වරායේ සිරවී ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් ලබා දී තිබේ.

mawbima.lk කළ විමසීමකදී එම අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය මේ බව පැවසුවා ය.

“ආනයනකරුවන් ඉන්දියාවෙන් ආනයනය කරලා තියෙනවා නම් යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් ඒවා වරායෙන් නිදහස් කර ගන්න බැරි නම් ඒ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යංශයට තොරතුරු දුන්නා ම අපි ඒකට මැදිහත් වෙලා නිදහස් කර ගන්න උදව් කරනවා.”

අනෙකුත් රටවල්වලින් ආනයනය කරන ලද භාණ්ඩ ඇති නම් ඒවා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ද වෙළෙඳ අමාත්‍යංශයට මැදිහත් විය හැකි බව ලේකම්වරිය පැවසීය.

ඇය සඳහන් කළේ, එම තොරතුරු අමාත්‍යංශයට ලබා ගැනීම සඳහා දුරකතන අංක ද හඳුන්වා දී ඇති බව ත් ප්‍රථමයෙන් කොපමණ තොරතුරු සංඛ්‍යාවක් ලැබෙන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කරන බව ත් ය.

මේ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට ඊයේ (මාර්තු 17) පස්වරුවේ අත්සන් තැබී ය.