ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම හෙට සිට යළි ත්

0
27

Tharaka Samman,Kanchana wijayabandara

කොළඹ වරාය ආසන්න මුහුදේ නවතා තිබෙන ගෑස් මෙට්‍රික්ටොන් 3,500ක් සහිත නෞකාවෙන් ගෑස් ගොඩබෑම අද (මාර්තු 17) දහවල් 2.00ට පමණ ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

mawbima.lk කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව හෙට (මාර්තු 18) දින සිට ගෑස් බෙදාහැරීම් කටයුතු සිදු වනු ඇති බව ය.

දිනකට ගෑස් සිලින්ඩර 120,000ක් පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, එම ගෑස් ප්‍රමාණය දින තුනක කාලයක් සඳහා ප්‍රමාණවත් වන බව ය.

එසේ වුව ද මෙරටට පැමිණීමට නියමිත තවත් ගෑස් නෞකා කිහිපයක් සඳහා මාලදිවයිනේදී ගෑස් පිරවීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර ඒ හේතුවෙන් මෙරට ගෑස් සැපයුමට ගැටලුවක් නොවනු ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, එම නෞකා මේ දක්වා මෙරටට නොපැමිණියේ අද මෙම ගෑස් නෞකාව තුළ පැවති ගෑස් තොගය නිදහස් කර ගන්නා තෙක් බව ය.

එම නෞකාවේ අඩංගු ගෑස් මෙතෙක් කල් නිදහස් කර ගැනීමට නොහැකි වූයේ ඒ සඳහා ගෙවිය යුතුව තිබූ ඩොලර් හිඟය හේතුවෙන් යැයි ඔහු පැවසීය.

එම ප්‍රකාශකයා සඳහන් කළේ, මේ වන විට අදාළ හිඟ මුදලින් කොටසක් ගෙවා ඇති අතර තවත් සුළු මුදලක් පමණක් ගෙවීමට පවතින බව ය.

අදාළ ගෑස් සැපයුම් සමාගමට ගෙවිය යුතුව තිබූ මුදල් ප්‍රමාණය නොගෙවීම හේතුවෙන් දින 12ක් පුරා කොළඹ වරාය ආසන්න මුහුදේ ගෑස් නෞකා දෙකක් නවතා තිබිණි.

මේ අතර, ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්.එච්.කේ. වෑගපිටිය මහතා සහන් කළේ, සිය සමාගම සඳහා අවශ්‍ය ගෑස් මෙතෙක් ලැබී නොමැති බව ය.