ජපානයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයේ අලුත් ම තත්ත්වය

0
29

නැගෙනහිර ජපානයේ ඊයේ (මාර්තු 16) මධ්‍යම රාත්‍රියේ ඇති වූ රික්ටර් මාපක 7.4 ක ප්‍රබලතාවකින් යුතු භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 90 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, ෆුකුෂිමා වෙරළට කිලෝමීටර් 60ක් (සැතපුම් 37ක්) ගැඹුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති අතර ඊට මිනිත්තු කිහිපයකට පෙර එම ප්‍රදේශයේ ම රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබලත්වයකින් යුත් තවත් ප්‍රබල කම්පනයක් ද ඇති වූ බව ය.

ඊයේ රාත්‍රී කාලයේදී මෙම භූ කම්පනය සිදුව ඇත්තේ, මාරාන්තික සුනාමියක් සහ ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනයක් ඇති කළ දැවැන්ත භූමි කම්පාවට වසර 11 ක් පිරීම නිම වී දින කිහිපයක් ගතවෙද්දී ය.

මෙම කම්පනය හේතුවෙන් ටෝකියෝ සහ අනෙකුත් ප්‍රදේශවල තාවකාලිකව විදුලිය විසන්ධි වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පළමු භූ කම්පනයෙන් පසු කුඩා ප්‍රමාණයේ කම්පන කිහිපයක් ම එම ප්‍රදේශයේ සිදුව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම භූමි කම්පාවෙන් පසු රටේ ඊසානදිග ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ නිලධාරීන් අද (මාර්තු 17) අලුයම වන විට හානිය තක්සේරු කිරීමට උත්සාහ කරමින් සිටින බව ය.

එමෙන් ම, අද අලුයම ඊසානදිග ජපානයේ ඇතැම් ප්‍රදේශවලට මුහුදු රළ මීටරයක් දක්වා ඉහළ යා හැකි බවට වූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කරනු ලැබ ඇති බව ද වාර්තා වේ.

මෙම භූ කම්පනය හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරවල අසාමාන්‍යතා කිසිවක් සිදුව නොමැති බව ද අදාළ නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරට ත් සඳහන් කර තිබේ.