සජීව ප්‍රවෘත්ති විකාශයකදී රුසියානු ජනපතිට විරෝධය පෑ මාධ්‍යවේදිනියකට දඩයක්

0
47

රුසියාවේ රාජ්‍ය නාලිකාවක් වන චැනල් 1 හි සජීවී ප්‍රවෘත්ති විකාශනයක් අතරතුර රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් විරෝධය පෑ එම රූපවාහිනී නාලිකාවේ ම මාධ්‍යවේදිනියට එරට අධිකරණයක් මගින් දඩයක් නියම කර ඇත.

විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ, ඇයට මොස්කව්හි දිස්ත්‍රික් උසාවියක් මගින් රූබල් 30,000ක (ඩොලර් 280) දඩයක් නියම කර ඇති බව ය.

ක්‍රෙම්ලිනය ඇය සිදු කළ මෙම ක්‍රියාව හඳුන්වා ඇත්තේ, “දාමරික ක්‍රියාවක්” ලෙස ය.

ඇයට එරෙහි චෝදනාවට පදනම් වී ඇත්තේ, චැනල් වන් හි යුද්ධ විරෝධී පෝස්ටරයක් සමග පෙනී සිටීමට පෙර ඇය පටිගත කළ වෙනත් වීඩියෝවක කළ ප්‍රකාශයක් මත බව ඇයගේ නීතිඥවරයා CNN නාලිකාව වෙත සඳහන් කර ඇත.

රුසියාවේ ‘චැනල් 1’ රාජ්‍ය නාලිකාවේ පෙරේදා (මාර්තු 14) රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතරතුර ”යුද්ධය එපා” යැයි සඳහන් පුවරුවක් ඔසවමින් මරීනා ඔවිස්යන්නිකෝවා නම් එම නාලිකාවේ ම ප්‍රවෘත්ති සංස්කාරකවරියක ප්‍රවෘත්ති තිරයෙහි පෙනී සිටි වීඩියෝවක් පිළිබඳව ලෝකයේ අවධානය යොමු විය.

අදාළ ප්‍රවෘත්ති විකාශයේ ප්‍රවෘත්ති නිවේදිකාවට පිටුපසින් පැමිණ සිට ගත් ඇය “යුද්ධය එපා, යුද්ධය නවත්වන්න, ප්‍රචාරණ විශ්වාස නොකරන්න, ඔවුන් මෙහි ඔබට බොරු කියනවා.” යනුවෙන් සටහන් වූ පුවරුවක් ප්‍රදර්ශනය කළේ ය.

රාත්‍රී ප්‍රවෘත්ති වැඩසටහනේ සජීවීව සිදු කළ මෙම විරෝධතාවට පෙර, ඇය යුක්‍රේනයේ සිදුවීම් “අපරාධයක්” ලෙස හැඳින්වූ වීඩියෝවක් නිකුත් කර ඇති අතර ක්‍රෙම්ලිනයේ මතවාද අනුව සිදු වන ප්‍රචාරණය සඳහා වැඩ කිරීමට සිදුවීම පිළිබඳව ලැජ්ජා වන බව ද එහි පවසා ඇති බව සඳහන් ය.

“රූපවාහිනී තිරයේ සිට බොරු කීමට මම ඉඩ ලබා දීම ගැන මට ලැජ්ජ යි. රුසියානුවන් පිල්ලි බවට පත් කිරීමට මම ඉඩ දීම ගැන මම ලැජ්ජා වෙනවා,” යනුවෙන් ඇය එහිදී පැහැදිලි කර තිබේ.