බසයෙන් වැටුණු සිසුවාට පියෙකු වූ නවගමුව පොලිස් ස්ථානාධිපති

0
31

Sugath Liyanage-Kaduwela

කඩුවෙල, බෝමිරිය මුනිදාස කුමාරතුංග විද්‍යාලයට අද (මාර්තු 16) උදෑසන පැමිණීමේදී බස් රථයෙන් පාසල් සිසුවෙකු ඇද වැටී තිබේ.

බස් රථයෙන් ඇද වැටී තුවාල ලැබූ එම සිසුවා නවගමුව රෝහලට රැගෙන ගොස් ඇති අතර එය සාමාන්‍යයෙන් සිදු වන දෙයක් වුව ද, අසාමාන්‍ය සිද්ධියක් එය පසුපස විය.

ඒ, සිසුවා බසයෙන් ඇද වැටුණු ස්ථානයේ රාජකාරී කරමින් සිටි නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා මහතා සිසුවා රෝහල වෙත ගෙන යාම ය‍.

අප වාර්තාකරු සඳහන් කළේ, ඔහු තමන්ගේ නිල රථයෙන් සිසුවාට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලට ගෙන ගොස් ඇති බව ය.

එහිදී ප්‍රතිකාර කිරීමෙන් පසුව රෝහලේදී ස්ථානාධිපතිවරයා පාසල් සිසුවාට ආහාර ද ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයෙන් මෙන් ම දෙමාපියන්ගෙන් ද ප්‍රශංසාව හිමි වී තිබේ.

මේ පිළිබඳව විද්‍යාලයේ විදුහල්පති මේජර් ඉන්දික රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“ඇත්තට ම නවගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට අප ස්තුති වන්ත වෙනවා. අපේ දරුවා වෙනුවෙන් කළ දෙයට. රාජකාරී බහුල වෙලාවක දරුවා වෙනුවෙන් මෙවැනි කැපකිරීමක් කරන්න පුළුවන් උතුම් මිනිසුන්ට පමණ යි.”

මේ පිළිබඳව නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ලක්ෂ්මන් ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“මේ දරුවා කාගෙ කවුද කියලා මම දන්නෙ නෑ. ඒක මට අදාළ ත් නෑ. දරුවෙක් කියන්නෙ අපි හැමෝගෙ ම දරුවෙක්. එවෙලෙ මට ආපු හැඟීම ඒක යි. ඉතින්  මම කළ යුතු දේ කෙරුවා.”