පාඨලීගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කෙරේ

0
24

රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහා පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේ ය.

ඒ, එම නඩුව අද (මාර්තු 16) මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විත්තිකාර පාඨලී චම්පික යන අයට එරට සංචාරය කිරීමට පැමිණෙන ලෙස කරනු ලැබූ ආරාධනයක් අනුව, ඊට සහභාගි වීම සඳහා මේ වන විට අධිකරණයෙන් පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසට ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා මෙලෙස නියෝග නිකුත් කළේ ය.

ඒ අනුව, පැමිණිල්ලේ ද විරෝධතාවක් නොමැති වීම මත අප්‍රේල් මස 8 වන දින සිට 27 වන දින දක්වා පාඨලී චම්පික රණවක යන අයට අධිකරණයෙන් පනවා තිබුණු විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය නියම කළ අතර ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත ද දැනුම් දෙන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කළේ ය.

එසේ ම, විදේශගතව පැමිණීමෙන් අනතුරුව අප්‍රේල් මස 27 වන දින හෝ ඊට පෙර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට ද විනිසුරුවරයා විත්තිකාර පාඨලී චම්පික රණවක යන අයට නියම කළේ ය.

අදාළ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ දෙවන විත්තිකරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අපරාධ විධිවිධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලබා දී ඇති බව ත් එහි පිටපතක් මහාධිකරණය හමුවට කැඳවීමට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අදාළ ප්‍රකාශයේ පිටපතක් වහා ම මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට සහ එහි අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ ය. 

එහි පිටපතක් ලැබීමෙන් අනතුරුව එහි අනු පිටපත් පැමිණිල්ල සහ විත්තිය වෙත ලබා දීමට පියවර ගන්නා ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේ ය.

නඩුවේ විභාගය ලබන අප්‍රේල් 4 වන දිනට අධිකරණය විසින් නියම කරනු ලැබ ඇති අතර පැමිණිල්ල ලබා දී ඇති ලේඛනවල අඩුපාඩු පවතී නම්, ඒ පිළිබඳව දැනුම් දීමට කාලය අවශ්‍ය හෙයින් එදිනට නියම කර ඇති විභාගය අවලංගු කර කැඳවීමේ දිනයක් ලබා දෙන ලෙසට විත්තිකාර පාඨලී චම්පික වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

නඩුව විභාගය සඳහා ලබන අප්‍රේල් මස 4 හා 7 වන දින නියම කර ඇති අතර 4 වන දින නඩුව විභාගයෙන් ඉවත් කරනු ලැබුව හොත් 7 වන දින පමණක් සාක්ෂි විමසීමට කාලය ප්‍රමාණවත් නොවන බව ත් ඉන්පසු පැමිණෙන්නේ සති දෙකක පමණ අධිකරණයේ විරාම සීමාව බැවින් මෙම කාලය තුළ සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති වීම හෝ සාක්ෂිකරුවන්ට පෙර දින ලබා දුන් සාක්ෂි අමතක වීමේ සම්භාවිතාව මත පැමිණිල්ලට එයින් විශාල අගතියක් වීමට හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ සිය විරෝධතාවය පළ කළේ ය.

ඒ අනුව, විත්තියේ ඉල්ලීම වන 4 වන දින විභාග රෝලෙන් ඉවත් කිරීම පිළිබඳ වන ඉල්ලීමට පැමිණිල්ල විරුද්ධ වන බව අධිකරණය හමුවේ පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම නඩුව 4 වන දින විභාගයට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ ලේඛන සම්බන්ධයෙන් ගැටලුසහගත තත්වයක් ඇති වුවහොත් පමණක් එදින කැඳවීමේ දිනයක් බවට පත් කරන බව ත් නැති නම් පෙර නියම කළ පරිදි 4 වන දින නඩුව විභාගයට ගන්නා බව ත් ප්‍රකාශ කළේ ය.

2016 වසරේ පෙබරවාරි මස 28 වන දින WPKT 7545 දරන ජීප් රථයේ රියැදුරුව සිටිමින් ධාවනය කරමින් අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ක්‍රියා මගින් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදහන් කිරීම හා රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති විත්තිකරු නීත්‍යනුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධි චෝදනා 16 යටතේ  හිටපු අමාත්‍ය  පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර හා වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.