“බැසිල් රටට අපලයක් යැයි ජනතාව චෝදනා කරනවා”: “ආණ්ඩුව හදන්න බැරි නම් ගෙදර යවන්න සංඝරත්නය සූදානම්”

0
21

ආණ්ඩුව රැකගැනීමට හෝ ආණ්ඩුව හැදීමට නොහැකි නම්, ආණ්ඩුව ගෙදර යැවීමට මහා සංඝරත්නය පෙරමුණ ගැනීමට සූදානම් යැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ සඳහන් කළේ, ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන විට පිළිනොගන්නේ නම් සහ සෑම දිනක ම ජනතාවට දුක් දෙන්නේ නම්, ආණ්ඩුව බලයට ගෙනා 69 ලක්ෂයක ජනතාවට ම ආණ්ඩුව ගෙදර යැවීම සඳහා එකතු වන ලෙස ය.

වර්තමාන රජය පත් කරගැනීමට සහාය වූ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ජනතාව කිරිබත් කමින් සැමරූ සතුට අද වන විට මුළුමනින් ම අවසන් වී ඇතැයි උන්වහන්සේ පැවසූහ.

එබැවින් මේ වන ජනතාව ආණ්ඩුවට මෙන් ම ආණ්ඩුව පත් කිරීමට සහාය දුන් සැමට ද “හෙණ ගසන්නැයි” ඉල්ලා සිටින බව ද මුරුත්තෙට්ටුවේ හිමියෝ සඳහන් කළහ.

“ජනතාවට හැමදා ම දුක් දෙනවා නම් ජනතාවට කියනවා අපි හැමෝම එකතු වෙලා ආණ්ඩටුවක් ගෙනවා නම් රැකගන්න බැරි නම් අඩුපාඩු පෙන්නලා ඉදිරියට යන්න, 69 පක්ෂයට ම එකතු වෙන්න මහා සංඝරත්නය ත් එක්ක. අපි ලෑස්ති ආණ්ඩුව හදන්න හෝ ආණ්ඩුව ගෙදර යවන්න. අපට පුළුවන් ආණ්ඩුවේ අඩුපාඩු පිළිගන්නේ නැත්නම් ආණ්ඩුව ගෙදර යවන්න. පැවිදි හඬ පෙරමුණ ගන්න ලෑස්තියි. එන්න අපි ත් එක්ක ආණ්ඩුව හදන්න හෝ ගෙදර යවන්න.”

තව ද උන්වහන්සේ සඳහන් කළේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා “රටට ඇති අපලයක් වී ඇතැයි” ජනතාව චෝදනා කරමින් සිටින බව ය.

එබැවින් මෙම චෝදනාවලින් ඉවත්වීමට මාස 6ක් හෝ ඈත් වී තමන්ගේ සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වන්නැයි උන්වහන්සේ මුදල් අමාත්‍යවරයාගෙන් වැඩිදුරට ත් ඉල්ලා සිටියහ. 

“දවසෙන් දවස අඩුපාඩු වැඩි වෙනවා මිසක් ජනතාවට එන්න එන්න කිසි කාලෙක නැති විදියේ මහා දරුණු ව්‍යසනයක් බවට පත්වෙලා තියෙන්නේ. තියෙන මිනිහාට කන්න විදියකු ත් නෑ. නැති මිනිහාට කොහොමට ත් බෑ. අද අකමැත්තෙන් හරි මට කියන්න වෙලා තියෙනවා බොහොම දෙනෙක් කියන්නේ බැසිල් මහත්තයා මුදල් ඇමති වුණාට පස්සේ තියෙන දේත් නැතිවුණා කියලා මිනිසු කියනවා. අපි දන්නේ නෑ ඇත්ත ද? බොරු ද? කියලා. එහෙම තත්ත්වයක් තියෙනවා නම් බැසිල් මහත්තයෝ මිනිසුන්ලේ මේ චෝදනාවලන් නිදහස් වෙන්න 6 මාසයක්වත් ඈත්වෙලා ඉන්න. අද ඔබතුමා තමයි ලොකු ම අපලය කියලා ජනතාව කියන්නේ. අපි ඔඉගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ ගේ සෞභාග්‍යයේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න සහයෝගය දෙන්න.”