“බස් ධාවනය ගැන තීන්දුව තව දින තුනකින්” – පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

0
41

තමන් රජයන් ඉල්ලා සිටියේ බස් ගාස්තු සංශෝධනය කිරීමක් නොව, ඉන්ධන සහනාධාරයක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, දින තුනක් බස් රථ ධාවනය කර තත්ත්වය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරියේදී බස් රථ ධාවනය සම්බන්ධයෙන් වන තීරණය දින තුනකින් ප්‍රකාශයට පත් කර බව ය.

බස් ගාස්තු සංශෝධනයෙන් දෛනික ඩීසල් සඳහා වැය කෙරෙන මුදල්වත් නොලැබෙන බව ඔහු පැවසීය. 

“ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රජය බස් ගාස්තු සංශෝධනයක් ලබා දී තියෙනවා. මේ බස් ගාස්තු සංශෝධනයෙන් අපි දෛනිකව ඩීසල්වලට වැය කරන මුදලවත් ලැබෙන්නේ නෑ. මෙහෙම බස් දුවන්න බෑ ඇමතිතුමනි. මේ බස් ගාස්තු සංශෝධනය තුළින් සමස්ත බස් කර්මාන්තකරුවාගේ ඇද වැටීම නවත්වන්න බෑ. සේවක දෙපළට වැටුපක් වැඩි කරන්න බෑ. 

ඒ වගේ ම බස් ටික දුවන්න ත් අද සිපෙට්කෝ පිරවුම්හල්වල ඩීසල් නෑ. ඒක නිසයි අද බස් ගාල්වෙලා තියෙන්නේ. බස් ගාස්තුව ලබා දුන්නේ IOC ඩීසල් මිලට නෙමෙයි අමාත්‍යවරයා, සිපෙට්කෝ මිලට කියන එක අමතක කරන්න එපා. අපි රජයට යෝජනා කළේ බස් ගාස්තු සංශෝධනයක් නෙමෙයි.

රජය පටලවා ගත්තා. කැබිනට් අමාත්‍යවරයා පටලවා ගත්තා. අපි ඉල්ලුවේ ඩීසල් සහනාධාරයක්. අපි මේ තියෙන ගාස්තුවට ම බස් රථ ටික ධාවනය කරන්නම් අපිට ඩීසල් රු 121ට දෙන්න කියලයි අපි කිව්වේ. නමුත් රජය අමාත්‍යවරයා තීන්දු කළේ, සොච්චම් බස් ගාස්තුවක් දීලා පෞද්ගලික බස් රථ හිමියා හා සේවකයා සනසාලන්නට. එහෙම කරන්න බැහැ. ටයර් එකක් මිල ඊයේ රු 35,000කින් ඉහළ ගියා. ඒ නිසා කොහොම ද බස් කර්මාන්තය පවත්වාගෙන යන්නේ කියලා අමාත්‍යවරයාගෙන් අහනවා.

අපි දවස් තුනක අධ්‍යයනයකින් පසුව බස් ධාවනය කරලා ඒ පාඩුව අපිට දරා ගන්න බැරි නිසා ම අපි ගන්නා වූ තීන්දුව තව දින තුනකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.”