“අපේ ම අයගේ කතා නිසා ආණ්ඩුව ගැන විශ්වාසය නැති වෙලා” – ඩලස්

0
18

විවිධ අවස්ථාවලදී ආණ්ඩුවේ නියෝජිතයින් විසින් සිදු කරනු ලැබූ සැලසුම්සහගත නොවන ප්‍රකාශ හේතුවෙන් ජනතාවට විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලු මතු වී ඇතැයි පිළිගන්නා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (මාර්තු 15) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ, රට පත්ව ඇති අර්බුදයට වගකිව යුත්තේ, ආණ්ඩුව පත් කර ගැනීමට ඡන්දය ලබාදුන් 69ක ජනතාව ද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, රට ඉතා ම අසීරු පීඩනයකට පත්ව ඇති මොහොතක 69 ලක්ෂයක ජනතාවගේ නියෝජිතයින් වශයෙන් කිසිදු ගැටලුවක් නැතැයි ප්‍රකාශ කර ජනතාවට අපහාස කිරීමට සූදානම් නොමැති බව ය.

එබැවින් මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේ දැයි ජාතික ආර්ථික සභාව හරහා විද්වත් කතාබහක් සිදු කරන බව ඔහු පැවසීය.

පවතින අර්බුදයෙන් මිදීමට සියලු පාර්ශව සමග එකට එක්ව ප්‍රායෝගික විසඳුම් සෙවිය යුතු යැයි පිළිගෙන ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්ති සම්පාදකයින් වශයෙන් තමන්ගේ වගකීමක් බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.