වාසු නිල නිවස සහ රජයෙන් දුන් වාහන යළි භාර දෙයි

0
45

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ පරිහරණය සඳහා රජයෙන් ලබා දී තිබූ නිල නිවාසය සහ වාහන එම  අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වෙත අද (14) භාර දුන්නේ ය.

අමාත්‍යාංශයේ රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටීම හා කැබිනට් මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවීමට තීරණයක් ගෙන ඇති අවස්ථාවක තවදුරට ත් එම වරප්‍රසාද  භුක්ති විඳීම යුක්තිසහගත නොවන බවට හැඟී යාම නිසා ඒවා යළි භාර දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, තමා භාවිත කළ වාහන දෙකක් හා නිල නිවාසය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අද භාර දුන් බව ත් තමාගේ ඉදිරි ගමන් බිමන් කටයුතු සඳහා තම සහෝදරයෙකුගේ හෝ හිතවතෙකුගේ වාහනයක් ඉල්ලාගෙන පරිහරණය කරන බව ත් ය.

තමා අමාත්‍යාංශයේ රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටිය ද මහ ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන් සඳහා තවදුරට ත් පෙනී සිටින බව ද අමාත්‍ය ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනා අමාත්‍යධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය දා ගත් තීරණයට විරෝධය පාමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර සිය අමාත්‍යාංශයේ වැඩ කටයුතුවලින් ඉවත් වීමට හා කැබිනට් මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවීමට තීරණය කර තිබිණි.