කොච්චිකඩේ සහ කොස්වත්තේ ඝාතන දෙකක්

0
45

කොච්චිකඩේ, බටහිර කටාන, ගැමුණු මාවත ප්‍රදේශයේ පියා සහ පුතා අතර ඇති වූ ආරවුලකින් පුතා පියාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනයක් සිදු කර තිබේ.

මරණකරු වයස අවුරුදු 44ක් වූ බටහිර කටාන, ගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු මත්පැන් පානය කර නිවසට පැමිණ ඇති අතර දහවල් ආහාරය සකස් කර ඇති ආකාරය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පියා තම වැඩිමහල් දියණියට පහර දී තිබේ.

එම අවස්ථාවේදී පුතා තම පියාට උල් පිහියකින් ඇන මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වීම සඳහා මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 22ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොච්චිකඩේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර හලාවත, කොස්වත්ත, හාල්දඬුවන ප්‍රදේශයේ පොල් ඉඩමක පිහිටි මුර නිවසක් තුළ කාන්තාවක් කැපුම් තුවාල සහිතව මියගොස් ඇති අතර පිරිමි පුද්ගලයෙකු ගෙළ වැල ලාගෙන මියගොස් ඇති බවට කොස්වත්ත පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය සහ මරණකරු වයස අවුරුදු 65ක් පමණ වූ හාල්දඬුවන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර එම පුද්ගලයා ද ගෙළ වැල ලාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව පොලිසිය සැක කරනු ලබයි.

මෘත ශරීරයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොස්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.