ආණ්ඩුව පෙරළන කැරැල්ල ජවිපෙ කොළඹින් අරඹයි

0
53

ආණ්ඩුව බලයෙන් පහකිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ, ගොවි, ධීවර, කාන්තා ඇතුළු සියලු ක්‍ෂේත්‍ර එක්කරන ප්‍රථම දැවැන්ත විරෝධය ලබන සතියේ කොළඹදී පවත්වන බව එම පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ‘මව්බිම’ට පැවසීය.  

මේ තරමට ජනතාව පීඩාවට පත්කළ ආණ්ඩුව තමන් අතින් බරපතළ වරදක් ජනතාවට සිදු වූ බව මේ වන තෙක් පිළිගෙන නොමැති අතර දැන් කළ යුතු වන්නේ, බලෙන් හෝ ආණ්ඩුව ගෙදර යැවීම බව ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කළේ ය.

රටේ හැම ක්‍ෂේත්‍රයක් ම බරපතළ අනතුරක තිබියදී ජනාධිපතිවරයා විවිධ ආයතනවලට ගොස් ජනතාවගෙන් මෝඩ ප්‍රශ්න අසමින් ඡායාරූපවලට පෙනී සිට “ආතල්”  එකක් ගනිමින් සිටින බවට ඔහු චෝදනා කළේ ය.

“ජනතාවට අපි කියන්නේ පාරට බැස උද්ඝෝෂණය කර, සටන් කර, මේ දුෂ්ඨ පාලනය පලවා හැර ජනතාවාදී පාලනයක් ගොඩනගමු කියලයි. ඒ වෙනුවෙන් උද්ඝෝෂණ මාලාවක් අපි සංවිධානය කර තිබෙනවා. 14 වන දා හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල උද්ඝෝෂණයක් සූදානම් කර තිබෙනවා. 17 වන දා කළුතර උද්ඝෝෂණය සිදු කර ඉදිරි දවස් කීපය තුළ රට පුරා ම උද්ඝෝෂණ සිදු කරනවා. 18 වන දා සමාජවාදී තරුණ සංගමය රටේ සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වනවා. 29 වන දා පොළොන්නරුවේදී ගොවි උද්ඝෝෂණයක් පවත්වනවා. මේ හැම බලවේගයක්ම ම එකතු කරලා මේ මාසය අගදී කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වනවා.”