කබ්රාල් හදිසියේ ගත්ත තීරණය නිසා රටේ ජනතාවට වෙන්න යන දේ

0
93

රුපියල ‘පාවීමට’ ඊයේ (මාර්තු 9) සවස සිට ඉඩ දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකුකරුවන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේ ය. 

එම තීරණයත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් mawbima.lk වෙබ් අඩවිය මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතාගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු අවධාරණය කළේ, මෙම තීරණය මීට මාස 27කට පෙර එනම්, 2020 වසරේ ජනවාරි මාසයේදී ගැනීමට තිබුණු තීරණයක් බව ය. තීරණය ගැනීමට ප්‍රමාද වුව ද, එය නිවැරදි තීරණයක් බව ඔහු පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, වෙළෙඳපොළේ පැවති විදේශ විනිමය හිඟය හේතුවෙන් ඩොලර් සඳහා “විශාල කළු කඩයක්” බිහිවුණු බව ය.

අමෙරිකානු ඩොලරයක් “කළු කඩයක” රුපියල් 260කට පමණ අලෙවි වුණු බව ත් පාවීම ආරම්භවීම ත් සමග එය රුපියල් 260 සීමාව ඉක්මවා යනු ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස ආයෝජකයින් නැවතත් මෙරටට ඩොලර් ගෙන ඒම ආරම්භ කරන බව විජේවර්ධන මහතා පෙන්වා දුන්නේ ය.

“රටේ විශාල විනිමය හිඟයක් තිබෙනවා. ඒ විනිමය හිඟය නිසා අපිට අවශ්‍ය ආනයනය කරගන්න බැරි වෙලා අද හැම තැන ම පෝලිම් ඇති වෙලා තිබෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි රුපියල පහත වැටීම පිළිබඳව සමපේක්ෂකයෝ කියලා ඉන්නවානේ ආයෝජකයෝ කණ්ඩායමක් (speculators). ඒගොල්ලෝ තමන්ගේ ඩොලර් අදායම් ආදිය පිටරට තියාගෙන ඉන්නවා රුපියල පහත වැටෙයි කියලා.

දැන් පාවෙන්න පටන් ගත්තට පස්සේ ඕක නගිනවා ඔය 260ට වඩා වැඩි මුදලකට නගිනවා. නැග්ගහම අර සමපේක්ෂකයින්ගේ තියෙන සමපේක්ෂක පරමාර්ථය අයින් වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ ලංකාවට ආපහු ඩොලර් ගේන්න පටන් ගන්නවා.” 

ඔහු පෙන්වා දුන්නේ, ඒ හේතුවෙන් මෙරට විනිමය අනුපාතිකය රුපියල් 250-255 අතර මට්ටමක ස්ථාවර වනු ඇති බව ය.

එමගින් ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනනය කිරීම සඳහා විදේශ විනිමය ලැබීම හේතුවෙන් මේ වන විට රට තුළ පවතින “පෝලිම්” ද අවසන් වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, දේශීය වෙළෙඳපොළේ පවතින ආනයනික භාණ්ඩවල මිල ඒ හරහා ඉහළ යාමක් සිදු වනු ඇති බව විජේවර්ධන මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ඊට රුසියාව සහ යුක්‍රේනය අතර පවතින අර්බුදය ද බලපාන බව ය.

“ඒ නිසා ශ්‍රී ලංකාවට අනාගතයේදී මේවා මිල දී ගන්න වෙන්නේ, ජාත්‍යන්තර වශයෙන් ඉහළ මිලකට. ඒ තත්ත්වය යටතේ දැන් තියෙන ඉන්ධන මිල පවත්වා ගෙන යන්න බෑ. ඉන්ධන මිල ත් ඉහළ යනවා. එල්.පී. ගෑස්වල මිල ත් ඉහළ යනවා. ඒ වගේ ම තිරිඟු පිටිවල මිල ත් ඉහළ යනවා දේශීය වෙළෙඳපොළේ. ඒක නවත්තන්න බැහැ.”