‘ජංගි හොරා’ චිත්‍රපටය කළ හේතුව සෝමරත්න දිසානායක හෙළි කරයි

0
1076

ජන විඥානය සියුම්ව හඳුනා ගත් නිර්මාණකරුවෙකු ලෙස ඔහුගේ නාමය ප්‍රචලිත ය. සමනල තටුවක් වන් සියුමැලි ළමා මනස පවා අතැඹුලක් සේ ඔහුගේ නිර්මාණකරණයට යොදා ගැනීම තුළ ඔහුගේ දක්‍ෂතාව මොනවට කියා පායි. එකී නිර්මාණකරුවාගේ වෙනස් මානයක සිනමා නිර්මාණයක් වූ “ජංගි හොරා” තිරගත වීම සිනමාකරණයේ මෙන් ම සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ගොඩ නගන්නට සමත් විය. අද හදගැස්ම වෙන්වන්නේ එම අපූරු නිර්මාණකරු වන සෝමරත්න දිසානායකට යි.

කොහොම ද මේ දවස්වල ජීවිතේ?

අපේ චිත්‍රපටය මේ දිනවල තිරගත වන නිසා තරමක් කාර්යබහුලයි. නමුත් එම කාර්ය බහුලත්වය තුළදී පවා වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරනවා.

ජංගි හොරා චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

ප්‍රතිචාර හිතුවට ත් වඩා හොඳයි. මෙය මාගේ චිත්‍රපටවල සාමාන්‍ය රටාවෙන් බැහැර වූ චිත්‍රපටයක් නිසා මට යම් චකිතයක් තිබුණ ත් හිතුවට ත් වඩා සාර්ථකව එය ප්‍රේක්‍ෂකයන් වැළඳගෙන ඇති බව ලැබෙන ප්‍රතිචාරවලින් හා සිනමා ශාලාවල තත්ත්වයෙන් පැහැදිලි යි. මගේ චිත්‍රපටවල වැඩි ම ප්‍රේක්‍ෂකාගාරයක් වූ දරුවන්ට මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණීමට නොහැකි වීම යි මෙහි පවතින ප්‍රධාන වෙනස. නමුත් සිනමා ශාලාවල ප්‍රේක්‍ෂකයන්ගෙන් අඩුවක් නැහැ. බොහොමයක් දෙනා මේ චිත්‍රපටය නැරඹීමට පැමිණෙනවා.

සිනමා කර්මාන්තයට රතු එළි වැටුණු යුගයක ඔබගේ චිත්‍රපටයක් තිරගත කිරීමේ අභියෝගය භාර ගත්තේ ඇයි?

අභියෝග දරාගෙන කොපමණ කාලයක් අපට බලා සිටින්නට සිද්ධ වෙයි ද කියන ප්‍රශ්නය එවිට පැන නගිනවා. මෙය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නිශ්චිත කාලවකවානුවක් නොමැති වීම ගැටලුවක්. මගේ ‘සුනාමි’ චිත්‍රපටය කොරෝනා සමය තුළ තිරගතකොට අතරමග නතර කිරීමට සිදුවූ නිසා ආර්ථික ගැටලුවක් පවතිනවා. ජංගි හොරා චිත්‍රපටය, සුනාමි චිත්‍රපටයට පෙර රූගත කිරීම් සිදු කළ හෙයින් එය ගැටලුවක් වුණේ නැහැ. අලුතින් චිත්‍රපටයක් කරන්න මේ වන විට වත්කමක් නැහැ. එවන් තත්ත්වයක් උඩදී ත් මේ චිත්‍රපටය මුදා හැරීමේ අවදානම මා භාර ගත්තා. නමුත් එය නොසිතූ ලෙස සාර්ථකත්වයට පත්වුණා.

ළමා චිත්‍රපට නිර්මාණ රාමුවෙන් බැහැර වී වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් නිර්මාණය කරන්න හිතුවේ ඇයි?

මම විශ්වාස කරනවා කිසි ම කලාකරුවෙක් කිසි ම වයස් සීමාවකට මෙන් ම මාතෘකාවකට සීමා නොවිය යුතු වග. කලාකරුවෙක් සෑම විට ම විවෘත විය යුතු යි. කලාව කියන්නේ අපගේ සංවේදිතාව සන්නිවේදනය කිරීම යි. එය බෙදා වෙන් කිරීම අපහසු යි. මම ළමා චිත්‍රපටවලට වගේ ම පවුලේ චිත්‍රපටවලට සීමා වුණා යැයි හැඟීමක් මට තිබෙනවා. නමුත් මම කිසිසේත් ම කොටුවෙන්න කැමැති නැහැ. ළමා චිත්‍රපට අධ්‍යක්‍ෂ ලේබලයෙන් වගේ ම මුද්‍රාවෙන් ගැලවීමට මටම ඇවැසි වුණා. ඒ නිසා මම ඒ කූඩුවෙන් එළියට ආවා. ළමා චිත්‍රපටවලට එක්රොක් වූ ප්‍රේක්‍ෂක පිරිස එයින් ගිලිහී ආර්ථික පසුබෑමකට ලක්වුණත්, මුදලට වඩා මගේ විවෘත වීමට මම සතුටු වෙනවා.

ජංගි හොරා කියන නම ඇතුළෙ ම පොඩි මාර්කටින් ට්‍රික් එකක් තියෙනවා වගේ?

ඒක මාර්කටින් ට්‍රික් එකක් නෙමෙයි. ඒක ඒ චිත්‍රපටයට සුදුසු නම. ජංගියට ජංගිය කියනවා නම් හොරාට හොරා කියනවා නම් ජංගි හොරා කියා කීම වැරැද්දක් නෙවෙයි. ඕන කෙනෙක්ට ඕනෑ ම කතාවක් කියන්න අයිතියක් තියෙනවා. සමහරක් අය ඒ නමට කැමැති යි. ඇතැම් අය අකැමැති යි. ඒ නමට කැමැති අයට ජංගි හොරා බලන්න පුළුවන්. අකමැති අයට under pants thief බලන්න පුළුවන්.

මෙම චිත්‍රපටයේ වස්තු බීජය උද්දීපනය කිරීමට ප්‍රබල දර්ශන යොදාගෙන නොමැති බව ඇතැම් විචාරකයන් පවසනවා. ඔබ ඊට එකඟ වෙනවා ද?

විවේචන ඕනෑ ම කෙනකුට කළ හැකි යි. එය ඔවුන්ගේ මතය වගේ ම දර්ශනය යි. නිර්මාණයක් ඉතා ම ඉහළින් වර්ණනා කරන්නන් වගේ ම එහි ‍දොස් හොයන පිරිසකුත් සිටිනවා. විවේචනයක් කියන්නේ පුද්ගල මතයක් මිස සමස්ත අදහසක් නෙවෙයි. යම් කෙනෙකු තර්කානුකූලව යමක් ඔප්පු කරනවා නම් මිස විවේචන පිළිගන්න මම කැමැති නැහැ. නමුත් සාධාරණ විවේචන එල්ල කරනවා නම් ඒවා පිළිගන්න ත් මම දෙවරක් හිතන්නේ ත් නැහැ. මේ විවේචනය මම කිසිසේත් පිළිගන්නේ නැහැ. එය මම දකින්නේ ද්වේශසහගත ප්‍රකාශයක් ලෙස යි

ලිංගිකත්වයට පැලැස්තර ගහන සංස්කෘතික රටක ඔබ භාර ගත්තේ අභියෝගයක් නේද?

සංස්කෘතිය වගේ ම සම්මතය පවතින විදිහට ම ආරක්‍ෂා කළ යුතු යැයි මම හිතන්නේ නැහැ. සම්මතයේ ඇලී ගැලී සිටිය යුතුයි යන දර්ශනයෙ ත් මම නැහැ. අපට පිළිගැනීමට අපහසු නම් එයට සාධාරණ හේතු නොමැති නම් කෙනෙකු කියූ පළියට හෝ අපට ඉගැන්වූ පළියට එය විශ්වාස කිරීම විහිළුවක්. යම් කරුණක පදනමක් පවතිනවා නම් පමණක් මම පිළිගන්නවා. එසේ නොමැති නම් මම එය සලකන්නේ වහල් චින්තනයක් ලෙස යි.

නිර්මාණකරණයේදී ඔබ සමාජ ගවේෂණයක් සිදු කරනවා ද?

අනිවාර්යයෙන් ම එය මගේ ප්‍රධාන කාර්යයක්. කුමන තිර රචනයක් සිදු කළ ද මම වැඩි කාලයක් ගත කරන්නේ ගවේෂණයට යි. ජංගි හොරා චිත්‍රපටය රචනා කිරීමට පෙර ත් මම එහි මනෝ විද්‍යාත්මක පැතිකඩ පිළිබඳ මනෝ වෛද්‍ය රූමී රූබන් මහතාගෙන් බොහෝ උපදෙස් ලබා ගත්තා. ඒ වගේ ම එවැනි මානසික තත්ත්වයක් පවතින පුද්ගලයන්ගේ චර්යාව, ජීවන රටාව දිගු කාලයක සිට අධ්‍යයනය කළා. එසේ විෂයානුබද්ධ කරුණු මෙන් ම සමාජීය කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි මම එය ගොඩ නගන්නේ. මගේ සෑම සිනමා නිර්මාණයක් ම සිදු කළේ එවන් අධ්‍යයනයකින් අනතුරුව යි.

ජංගි හොරා චිත්‍රපටයට වස්තු බීජය ගොඩ නැගෙන්නට පාදක වූ යථාර්ථවාදී මූලාශ්‍රය කුමක් ද?

මෙය කතාබහට ලක් නොවූ මාතෘකාවක් වුව ද මෙවන් මානසික ව්‍යාධීන් පවතින පුද්ගලයන් සෑම ගමක ම, සෑම නගරයක ම දැක ගත හැකි යි. මෙහි විශේෂිත ම කරුණ ඔවුන් පිළිබඳව විවෘත සමාජයේ කතා නොකිරීම යි. ඔවුන්ව ගැරහීම, දඬුවම් කිරීම හැර ඔවුන් දෙස මානව දයාවෙන් යුත් දෘෂ්ටියක් හෙළන්නේ නැහැ. ඔවුන් සමාජයෙන් කොන් කළ යුතු, නෙරපිය යුතු මනුෂ්‍ය කොට්ඨාසයක් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිසි ප්‍රතිකාරය වගේ ම ආදරය, දයාව හා කරුණාව යි. අපේ ගමෙ ත් එවැනි පුද්ගලයෙක් හිටියා. එකී චරිතයකුයි මගේ චිත්‍රපටයේ වස්තු බීජය බවට පත්වන්නේ. ඔහු පිළිබඳව සොයා බලන විටදී ඔහුත් අසරණ වගේ ම අහිංසක මනුස්සයෙක් වග මට පෙනී ගියා.

ඔබ විශ්වාස කරනවා ද නිර්මාණකරුවෙකුට එසේ සමාජ ශෝධනයක් කළ හැකි යි කියා?

අනිවාර්යයෙන් පුළුවන්. එයින් සමාජය ශෝධනය වෙනවා ද යන්න ප්‍රශ්නයක්. නමුත් නිර්මාණකරුවෙකුට සමාජයට පණිවුඩයක් දිය හැකි යි. එසේ සමාජයට ඉඟියක් කිරීම යි නිර්මාණකරුවාගේ යුතුකම. 

ප්‍රධාන චරිතයට පුබුදු චතුරංගව යොදා ගත්තේ එවන් චරිතවලට ඔහු දිගින් දිගට ම පණ පෙවූ නිසා ද?

නැහැ. ඒ චරිතයට ගැළපෙන ම පුද්ගලයා පුබුදු කියා මට හිතුණා. චිත්‍රපටය තිරගත කිරීමෙන් පසුව බොහෝ දෙනා එම ප්‍රශ්නය විමසන තෙක් ම මට පුබුදු එවන් චරිතවලට පණ පෙවූ බවට මතකයක් තිබුණේ නැහැ. ඔහු කුසලතා පූර්ණ රංගන ශිල්පියෙකු නිසා ඔහුව තෝරා ගත්තා විනා ඔහුගේ පෙර චරිත මම අධ්‍යයනය කළේ නැහැ.

අනාගත බලාපොරොත්තු මොනවා ද?

ඉදිරියටත් චිත්‍රපට කිරීමට බලාපොරොත්තු වෙනවා. තිර පිටපත් කිහිපයක් මම දැනටමත් ලියා තිබෙනවා. මට මේ වන විට චිත්‍රපට කිරීමට තරම් ආර්ථික තත්ත්වයක් නොමැති නිසා නිෂ්පාදකවරුන්ට මගේ නිර්මාණ ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.