සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ

0
57

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු 23) පෙරවරුවේ සර්ව පාක්ෂික සමුළුව ආරම්භ විය.

ජනාධිපති මන්දිරයේදී එම සමුළුව ආරම්භ වුණු අතර එහිදී වත්මන් ආර්ථික අර්බුදයන්ට තිරසර විසඳුම් සෙවීම සහ අදහස් ලබා ගැනීම සිදු වනු ඇත.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි සමුළුවට එක්ව සිටිති.

ඩොලර් සංචිත හිඟවීම හේතුවෙන් ගොඩනැගී ඇති අර්බුද විසඳීම සහ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කිරීම මෙම සර්ව පාක්ෂික සමුළුව හරහා සිදු කිරීමට යෝජනා කරන බව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ සහ විපක්ෂ දේශපාලන පක්ෂවල නියෝජිතයන් දැනුම් දී තිබිණි.

මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ යන විපක්ෂ දේශපාලන පක්ෂ මේ වන විට දැනුම් දී ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන හිටපු අමාත්‍යවරු වන විමල් වීරවංශ, නීතිඥ උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර නියෝජනය කරන පක්ෂ සහ ලංකා කම්කරු කොංග්‍රසය ද සමළුව වර්ජනය කරයි.

දෙමළ ජාතික ජනතා සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ද මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව දන්වා තිබිණි.