“අපි තමයි හොඳට ම කළේ කියන නොදියුණු චින්තනයෙන් ඈත් වුණොත් ර‌ට හැදෙයි” – සුජීව

0
525

අතිදක්ෂ චරිතාංග රංගන ශිල්පියෙකු මෙන් ම අධ්‍යක්ෂවරයෙකු ලෙස ප්‍රේක්ෂක හදවත් දිනා සිටින සුජීව ප්‍රියාල් අපි මෙවර හදගැස්මෙන් සම්මුඛ වුණෙමු. කාලයක් තිස්සේ පැවති නිහඬතාව බිඳිමින් ඔහු මේ දිනවල ටෙලි තිරය තුළ නිතර ම දකින්නට ලැබෙන නිසා ත් රටේ හා කලාවේ පවතින වර්තමාන ප්‍රශ්නවලට අර්ථකථනයක් ඔහු සතුව තිබෙන නිසා ත් අපි ඔහුව මේ සඳහා තෝරා ගත්තෙමු.

ගත වෙන කොවිඩ් කාල සීමාව තුළ ඔබේ කලා කටයුතු සකස් වෙන්නේ කොහොම ද?

කොවිඩ් තිබුණා කියලා මම නම් වැඩ නොකර සිටියේ නැහැ. හැකි හැම විට ම නිර්මාණවලට සම්බන්ධ වුණා. ‘ලෝරන්ස්ගේ මානමාලී’ වේදිකා නාට්‍යය ත් එළැඹෙන මාර්තුවේදී නැවතත් පෙන්වන්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා. රංගනය ගැන කතා කළොත් ‘interනැසනල්’, ‘දිවිතුරා’ වගේ නිර්මාණවලට පසුගිය කාලයේ දායක වුණා. මම කියන්නේ අපි කොවිඩ් කිය කියා සිටියොත් කලාවෙන් නෙමෙයි මොන ක්‍ෂේත්‍රයෙන්වත් අපිට මොන විධියකින්වත් ඉදිරියට යන්න බැහැ. වසංගතයකට කොටු වෙලා ඉන්නේ නැතිව හැකි පමණින් මේ වෙලාවේ වැඩ කරලා ඉදිරියට යාම තමයි වැදගත් වෙන්නේ. අපිට අර ප්‍රශ්නෙ තිබුණා, මේ ප්‍රශ්නෙ තිබුණා කියලා නිදහසට කරුණු කියන එක මම කොහොමත් අනුමත කරන්නේ නැහැ.

නිර්මාණයක් කළ සැණින් බොහොමයක් දෙනා තමන්ව කලාකරුවෙක් යනුවෙන් හුවා දක්වනවා. නමුත් නිර්මාණකරුවා සහ කලාකරුවා අතර පැහැදිලි පරතරයක් පවතිනවා නේ ද?

නිර්මාණකරුවන් තමන්ව කලාකරුවන් විධියට හුවා දැක්වීම කියන්නේ බරපතළ ගණයේ වරදක්. කිසි ම වෘත්තීයභාවයක් නැති පාර්ශව පවා සමහර අවස්ථාවල තමන්ව ගායකයෝ විධියට, සහය අධ්‍යක්ෂවරු විධියට, make up artistsලා විධියට හුවා දක්වන අවස්ථා මම දැක තිබෙනවා. කොහොමත් ඉතින් මේ රටේ ලොකුවට පෙනී සිටින්න මහා විශාල කාර්යභාරයන් සිදුකරන්න අවශ්‍ය නැහැ. කොවිඩ් කාලයේදී කොතැනකට හරි ගිහිල්ලා බඩු ටිකක් බෙදුවොත් ඒ පුද්ගලයාව මහා මානව හිතවාදී චරිතයක් විධියට තමයි හඳුනා ගන්නේ. කිසි ම standard එකක් නැති රටක ඔහොම දේවල් වෙන එක සාමාන්‍ය යි. අනෙක් වැදගත් ම කාරණාව තමයි මේ රටේ ඉන්න නිර්මාණකරුවෝ බහුතරය එක එක දේශපාලන පක්ෂවලට කඩේ යන අය. දේශපාලන පක්ෂවලට කඩේ යන අයව කවදාවත් කලාකරුවෝ ලෙස හඳුන්වන්න බැහැ. කලාකරුවා කියන්නේ චින්තනයක් තිබෙන, දර්ශනයක් තිබෙන පුද්ගලයෙකුට. ඒ නිසා මේ රටේ දැන් කලාකරුවෝ නැහැ. ඉන්නේ නිර්මාණකරුවන් පමණයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් බිහි කළ ආචාර්ය සාලමන් ෆොන්සේකාගෙන් රංගනය හදාරන්නට ලැබීම ඔබට වෘත්තීමය වශයෙන් යම් වාසියක් අත්පත් කර දුන්නා නේ ද?

ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතේ රංගනය හදාරන්න ලැබුණා කියන එක ම මට ගෞරවයක්. තව පැත්තකින් මට ඒ සම්බන්ධව යම්කිසි ආඩම්බරයක් තිබෙනවා. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිල්ලා, මේක හදාරන්න හොඳ ගුරුවරයෙක් සොයන කාලයේ තමයි මට ආචාර්ය සාලමන් ෆොන්සේකා ගැන දැන ගන්න ලැබෙන්නේ. කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා වගේ චරිත වුණත් ඔහු යටතේ රංගනය හදාරලා තිබුණු නිසා මට එතැනට ගිහිල්ලා ඉගෙන ගන්න ලොකු ආසාවක් ඇති වෙනවා. මේ විෂය පථය ඇතුළේ මට සාර්ථක වෙන්න අවසානයේදී අඩිතාලම දමන්නේ ඔහු. මට හරියට ඉගැන්වූ නිසා මම සිතන්නේ මට මෙතරම් දුරක් එන්න හැකි වුණා. මානවීය ගුණයක් සහිත ශිල්පියෙක් විධියට ගොඩ නැගෙන්න ඉඩහසර විවර වුණා.

චිත්‍රපට පෙන්වන්න සිනමා ශාලා නැහැ කියලා නිර්මාණකරුවන් චෝදනා නගද්දී, පවතින සිනමා ශාලාවල චිත්‍රපට බලන්න බැහැ කියලා ප්‍රේක්ෂකයන් චෝදනා නගනවා. ඇත්තෙන් ම සිනමා ශාලා ගැටලුවට ඔබට යෝජනා කළ හැකි ප්‍රායෝගික විසඳුම් මොනවා ද?

ඇත්ත ම කතාව තම යි ලංකාවේ චිත්‍රපටයක් පෙන්වන්න පුළුවන් මට්ටමේ ප්‍රමිතියක තිබෙන සිනමා ශාලා නැහැ. දැන් අපේ රටේ තිබෙන සිනමා ශාලාවල භාවිත වන පුටුවලට වඩා හොඳ පුටු අපි පාසල් යන කාලේ භාවිත කළා. සිනමාව කියන්නේ modern එකක්. කෝලම්, සොකරි පෙන්වනවා වගේ, දහඅට සන්නිය බලනවා වගේ චිත්‍රපට බලන්න බැහැ. සුවපහසුව ගත්ත ත්, තාක්ෂණය ගත්ත ත්, පින්තූරවල තිබෙන ගුණාත්මකභාවය ගත්ත ත් මම කියන්නේ ඒ සියල්ල ඉහළ ම තැනක තිබිය යුතු යි. පවතින සිනමා ශාලා ගැළපෙන්නේ නැත්නම්, හරියන්නේ නැත්නම් වහලා දාන එක අපරාධයක් තම යි. නමුත් මම කියන්නේ ඔය තිබෙන ශාලා ටික නැති කරලා නව්‍යකරණය කරන ලද නව සිනමා ශාලා නිර්මාණය කළ යුතු ම යි. එතැනදි ත් මහා විශාල සිනමා ශාලාවලට නොගිහින් ‘මිනි තියටර්ස්’ නිර්මාණය කළා නම් ඒක හොඳ ප්‍රවණතාවක් වෙයි. එතකොට එක ප්‍රදේශයකට මිනි තියටර්ස් කිහිපයක් නිර්මාණය කරලා අපිට විවිධ චිත්‍රපට ඒවායේ පෙන්වන්න පුළුවන්. නැත්නම් නිර්මාණකරුවන්ට එක චිත්‍රපටයක් නිර්මාණය කරලා සෑහෙන්න කාලයක් බලාගෙන ඉන්න සිදුවෙනවා සිනමා ශාලාවක් නැතිව.

මෙරට බොහොමයක් සාම්ප්‍රදායික පිරිමි, ශක්තිමත් ගැහැනියක් සමග විවාහ වීමට බිය වෙනකොට, ඔබ විවාහය සඳහා ශක්තිමත් ගැහැනියක් තෝරා ගන්නවා. බොහොමයක් පිරිමින්ට විවාහය අභියෝගයක් වෙනකොට එය ඔබට අත්වැලක් බවට පත්වුණේ කොහොම ද?

ඇත්තෙන් ම මම ඔය කියන කාරණාව සම්බන්ධයෙන් ලොකුවට සිතුවෙ ත් නැහැ. තව පැත්තකින් මම ඇයව තෝරා ගත්තාට ත් වඩා, ඇය තම යි මාව තෝරා ගත්තේ. ඇය එය ප්‍රසිද්ධ මාධ්‍යවල පවා පවසා තිබෙනවා. දුලීකා කියන්නේ හොඳ ආත්ම විශ්වාසයක් තිබෙන ගැහැනියක්. ශක්තිමත් ගැහැනියක්. ගැහැනු ගතිගුණ නැති‍ දෝ කියලා සමහරු සිතුවාට ඇයට සාමාන්‍ය කාන්තාවකට තිබිය යුතු ගතිගුණ අනිවාර්යෙන් ම තිබෙනවා. මම සිතන්නේ ඇය කෙතරම් ශක්තිමත් වුණ ත් මට ඇය සමග ජීවත්වීම පිරිමියෙක් විධියට අපහසු නැහැ. ඒක මට පහසුවක්. ඇය රංගනය තුළදී වගේ ම සාමාන්‍ය ජීවිතය තුළදී ත් ඉතා හොඳින් ඉදිරියට යනවා. ප්‍රශ්නයක් ඇති වුණා ම ක්ෂණයෙන් විසඳුම් සොයා ගන්නවා. මම සිතනවා ඇය හමු වුණාට පස්සේ මගේ වෘත්තීය ජීවිතය තුළ ත් යම් දියුණුවක් සිදුවුණා කියලා. අධ්‍යක්ෂවරයෙක් විධියට, රංගන ශිල්පියෙක් විධියට මාව ටිකක් වැඩිපුර මිනිසුන්ට පෙනෙන්න පටන් ගත්තා. ඇය නිසා මම අධ්‍යක්ෂවරයෙක් වුණා, රංගන ශිල්පියෙක් වුණා කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් ඇය මට මගේ වැඩකටයුතුවලට නිදහස දීලා, දිරිමත් කරනකොට මට ඉදිරියට යන්න අවකාශය ගොඩ නැගුණා. ශක්තිමත් ගැහැනියක් සමග විවාහ වීම කියන්නේ අවුලක් නෙමෙයි.

රටක් යහපත් දිශානතියකට ගෙනයන්න කලාකරුවන් තුළ යම් වගකීමක් තිබෙන කොට, මේ රටේ ප්‍රවීණ යැයි කියා ගන්නා කලාකරුවන් පක්ෂ දේශපාලනය මූලික කරගෙන කරන ක්‍රියා ගැන ඔබේ අර්ථකථනය කුමක් ද?

මම එහෙම කඩේ යන අයගෙන් අහන්න කැමැති යි අපිට උරුම වුණ, රට ද ලෝකය ද සමාජය ද කලාව ද මේ තිබෙන්නේ කියලා. මම බරපතළ විධියට ඔවුන්ට චෝදනා කරනවා තමන්ගේ වැඩේ කරගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතිව තමන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ කරන්න දේශපාලනය කිරීම සම්බන්ධව. මේ රටේ පවතින සමාජ පරිහානිය නිසා, ආර්ථික අවපාතය නිසා කී දෙනෙක් මේ රටෙන් පනින්න බලාගෙන ඉන්නව ද? නමුත් ඇත්ත ම කතාව තම යි එහෙම කලකිරිලා මේ රටින් යන විට ත් අපි මේ රටේ කියලා පාස්පෝර්ට් එක පෙන්වන්න බැරි තත්ත්වයක් තම යි උද්ගත වෙලා තිබෙන්නේ. මම දන්න සමහර ප්‍රවීණයෝ සිටිනවා, දැක්ක ගමන් මිනිස්සු කියන්නේ එයා නම් පොහොට්ටුවේ කියලා. එයා නම් JVP කියලා. මෙයා නම් අහවල් පක්ෂයේ කියලා. ඇත්ත ම කතාව තම යි තමන්ගේ පෞද්ගලික වාසි තකා තම යි ඔවුන් මෙහෙම පක්ෂ දේශපාලනයට කඩේ යන්නේ. එක්කො තමන්ගේ ළමයව ඉස්කෝලෙට දාගෙන අවශ්‍ය වැඩ ටික කර ගන්න. එක්කො තමන්ට පත්වීමක් ගන්න. මම කියන්නේ මේක හරි ම ඛේදවාචකයක්. කලාකරුවෝ කියලා කියා ගන්න අයට ඇත්තට ම මේ රට ගොඩ දාන්න ලොකු වගකීමක් තිබෙනවා. ඒ වගකීම ගන්නේ නැතිව මේක සුඛිත මුදිත වෙයි කියලා බලාගෙන සිටියාට තේරුමක් නැහැ.

‘interනැසනල්’ නිර්මාණයේ පළමු දිගහැරුමේ ශිල්පීන් වෙනුවට දෙවන දිගහැරුමේදී ඔබ වෙනත් ශිල්පීන් භාවිත කර තිබෙනවා. චරිත සඳහා පෙනී සිටි පුද්ගලයන් වෙනස් කිරීම තුළ නිර්මාණයක් සාර්ථක කර ගත හැකි යි කියලා ඔබ විශ්වාස කරනව ද?

මම අධ්‍යක්ෂවරයා විධියට පිළිගන්නවා, දෙවැනි එකේ පළමුවැනි එකට වඩා ඩ්‍රොප් එකක් තිබෙනවා කියලා. නමුත් ගොඩාක් නළු නිළියන්ව replace කළෙ ත් නැහැ. එක පුද්ගලයෙක්ව තමයි replace කළේ. ඒක ත් ඒ පුද්ගලයාගේ පෞද්ගලික කාරණාවක් මත සිදුවුණු දෙයක්. ප්‍රඩක්ෂන් එකෙන් යෝජනාවක් ආවා එහෙනම් වෙන පුද්ගලයෙක්ව replace කරමු කියලා. ඒක ත් එක්ක තමයි මම ක්‍රියාත්මක වුණේ. නමුත් මම අදට ත් කනගාටු වෙනවා ඒ පුද්ගලයාට මේ චරිතය දිගට ම ලබා දෙන්න නොහැකි වීම සම්බන්ධව. ඒ වගේ ම මම අලුතින් ඒ චරිතය කරන කෙනාව අවතක්සේරු කරන්නෙ ත් නැහැ. මම සිතන්නේ දෙවැනි දිග හැරුමේ තිබෙන ඩ්‍රොප් එකට හේතුව ඒ replace කිරීම ම නෙමෙයි. ඕනෑ ම නිර්මාණයක 1st cast එකකට පස්සේ පොඩි ඩ්‍රොප් එකක් තිබෙනවා. ලොව ප්‍රකට නිර්මාණයක් ගත්ත ත් එකෙන් පටන් අරන් සීසන් පහට වගේ යන විට පළමු වැනි එකේ තිබුණු ගතිය නැහැ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අනෙක් කාරණාව තමයි අපි කතාවෙන් ඉදිරිපත් කරන්නේ නාඳුනන රටක කතාවක් නෙමෙයි. අපේ ම රටේ තිබෙන සත්‍ය කතාව. ඉතින් එය ඉදිරිපත් කරනකොට යම් යම් වාරණවලට ත් අපට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ සියල්ල සමග තම යි මම අර කිව්ව ඩ්‍රොප් එක ඇති වන්නේ.

ආකර්ෂණීය බව වැඩි කර ගන්න තමන්ගේ කොණ්ඩය සහ රැවුල සුදු කිරීමට බොහොමයක් කලාකරුවන් පසුගිය කාලයේ යොමුවුණු ආකාරය අප දුටුවා. සුජීව ප්‍රියාල්ගෙ ත් පෙනුම වෙනස් වන්නේ අලෙවිකරණ උපක්‍රමයක ප්‍රතිඵලයක් විධියට ද?

අලෙවිකරණ උපක්‍රම භාවිත කරන්න මම වෙළෙඳ භාණ්ඩයක් නොවෙයි. මම කොහොමත් නළුවෙක් ලෙස මාව හුවා දක්වන්න ප්‍රමෝෂන් කරන්නේ නැහැ. මේක මගේ ස්වාභාවික කොණ්ඩය. මම මෙයට කට් එකක් දුන්නා පමණ යි. එතැනින් එහාට මම මාව ත් අපහසුතාවට පත් කරගෙන ෆැෂන් කරන්න කැමැති නැහැ. මගේ සම වියළි නිසා ක්‍රීම් එකක් භාවිත කරනවා හැරුණ ම මම වෙනත් කිසි ම දෙයක් කරලා නැහැ. කරන්නෙ ත් නැහැ. මම ඕනෑ ම තැනක බය නැතිව කියන්නේ මම 100%ක් ස්වාභාවික යි. ඒ ස්වාභාවිකත්වය මට පහසු යි. මම භුක්ති විඳින අන්න ඒ පහසුවට market එකක් නිර්මාණය වෙලා නම් ඉතින් මට කරන්න දෙයකුත් නැහැ.

මිනි සීරිස්, ටෙලි සිනමා වැනි නව ප්‍රවණතා සඳහා වර්තමාන නිර්මාණකරුවන් උත්සහ කරමින් සිටිනවා. මේවායේ සාර්ථක හෝ අසාර්ථකභාවය පිළිබඳව ඔබ ළඟ යම් අර්ථකථනයක් තිබෙනවා ද?

ඇත්තෙන් ම කිව්වොත් අපි ත් එය අත්හදා බලමින් සිටිනවා. අපි කිසි ම අවස්ථාවක මෙය අසාර්ථක වෙයි කියලා සිතන්නේ නැහැ. ඒ වගේ ම මේ දෙස සෘණාත්මකව බලන්නෙ ත් නැහැ. මොක ද ඉදිරියේදී ටෙලිවිෂන්වල මහ ලොකු දේවල් කරන්න අපහසු යි. දැන් අලුතින් ම චක්‍රලේඛයක් ඇවිල්ලා තිබෙනවා ටෙලි නිර්මාණවල සිගරැට් බොන දර්ශන, මත්පැන් බොන දර්ශන පෙන්වන්න බැහැ කියලා. මම කියන්නේ සිගරැට් බොන එක හොඳ නැත්නම්, මත්පැන් භාවිතය හොඳ නැත්නම් බාර් වහන එක යි කරන්න ඕන. නිර්මාණ කරන්න එපා කියලා වාරණ දාලා හරියන්නේ නැහැ. මොක ද මිනිස්සු ටෙලිවිෂන් එක බලලා බොන්න යනවා නෙමෙයි නේ. ඉතින්, ඔය වගේ කරුණු කාරණා මත අපට ඉදිරියේදී රූපවාහිනිය තුළ පවතින්න අපහසු යි. ඒ නිසා අලුත් ක්‍රමවේදවලට, අලුත් වේදිකාවලට යොමුවීම හොඳ ප්‍රවණතාවක් කියලා මම සිතනවා. එය කරන විට අපට බාධා කිහිපයකුත් තිබෙනවා. එකක් තමයි මේ රටේ ඉන්න audience එක විශාල එකක් නොවෙයි. ඉතින් ඒ සීමාවෙන් එහාට ගිහිල්ලා අපි මේක ඉදිරියට ගෙනියන්න අපේ සැලසුම් දියත් කළ යුතු යි. වෙනත් භාෂාවලිනුත් නිර්මාණ කළ යුතු යි.

කලාවට ලැබිය යුතු රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධව බොහොමයක් කලාකරුවන් නිතර ම කතා බහ කරනවා. සැබවින් ම රාජ්‍ය අනුග්‍රහය ලැබුණු පමණින් රටේ කලාව ගොඩ දැමිය හැකි යි යන සීමාවේ ඔබ සිටිනවා ද?

මම මේ රටේ නාට්‍ය කලාවට මුලින් ම පිවිසෙන්නේ 1993දී. එදා සිට ම මට අහන්න දකින්න ලැබෙන්නේ, කලාවට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය යි, කලාවට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු යි, කලාවට ප්‍රතිලාභ ලැබිය යුතු යි වගේ වචන. නමුත් අද වන තුරු ඒවා ගොඩ නැගිලා නම් නැහැ. හරියාකාරව ප්‍රතිපත්තියක් නැතිව, හරියාකාරව සිස්ටම් එකක් නැතිව ඒවා ගොඩ නගන්නත් බැහැ. ප්‍රතිපත්ති සෑදෙන්නේ, සිස්ටම් සෑදෙන්නේ හොඳ චින්තනයක් තිබෙන මිනිස්සු සිටියා ම. නමුත් මේ රටේ දේශපාලකයෝ පමණක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සු ගත්ත ත් ඔවුන්ගේ චින්තනය හරි ම අවුල්. හොඳ thinking pattern එකක් නැති මිනිස්සු සිටින රටකට රාජ්‍ය අනුග්‍රහය නෙමෙයි කුමක් ලැබුණ ත් ගොඩයන්න බැහැ. අපේ කාලේ තමයි හොඳට ම කළේ, අපේ ආණ්ඩුවෙන් තම යි වැඩිපුර ම කළේ කියලා කියන නොදියුණු චින්තනයෙන් ඉවත් වෙලා ඇත්තට ම කරලා තිබෙන්නේ මොනව ද කියලා තේරුම් ගන්න තැනදි අපේ චින්තනය වෙනස් වෙයි. ඒත් එතැන අපිට හරි දුර යි.

ප්‍රමේෂ් වික්‍රමසිංහ