‘ඕලු’ ටෙලිනාට්‍යයෙන් පස්සේ මංජුලාට මොක ද වුණේ?

0
930

එදා පුංචි තිරය වර්ණවත් කළ ඇය බොහෝ ප්‍රේක්ෂක හදවත් තුළ ආදරණීය චරිතයක් ලෙස සලකුණු තබන්නට සමත් වූවා ය. ඇය නමින් මංජුලා කුමාරි වුව ද බොහෝ දෙනා ඇය හඳුනන්නේ ‘ඕලු’ නමිනි. ඇයගේ අලුත් තොරතුරු අප සමග බෙදා ගන්නට ඇය හදගැස්ම කතාබහට එක් විය‍‍.

කොහොම ද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?

දරුවන් දෙදෙනාගේ වැඩ කටයුතු ත් කරගෙන ප්‍රවේසමින්, හොඳින් ජීවත් වෙනවා.

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ මම දිගට ම රූගත කිරීම් සිදු කරන්නේ නැහැ. ඒ බව මුලින් ම මට ඔවුන් පැවසුවා. එම නිස යි මම එයට සම්බන්ධ වුණේ. එහි මගේ චරිතය බොහොම ආදරණීය චරිතයක්. ඒ සඳහා ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.  

නිර්මාණ තුළින් ඔබව දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඇයි ඒ?

මගේ පුතා ලැබුණේ 2015දී. ඉන්පසුව මම බොහොම අතළොස්සක් පමණ වූ නිර්මාණ සඳහා පමණ යි සම්බන්ධ වුණේ. මවක් තමන්ගේ දරුවන්ගේ කුඩා කාලයේ ඔවුන්ගේ සුරතල් බලමින් ඔවුන් සමග සිටිය යුතු යි කියලා මම විශ්වාස කරනවා. එම නිසා මම නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ අඩුවෙන්. නිර්මාණවල ප්‍රධාන චරිත සඳහා ආරාධනා ලැබුණා. නමුත් මම ඒවා භාර ගත්තේ නැහැ. මොක ද රූගත කිරීම් සඳහා සම්බන්ධ වුණොත් මට දවස් විස්සක් විසි පහක් පමණ රූගත කිරීම්වලට සම්බන්ධ වීමට සිදු වෙනවා. එවිට මට දරුවන් සමග රැඳෙන්න තිබෙන කාලය අවම වෙනවා. එම නිසා මම එම ආරාධනා භාරගත්තේ නැහැ. 

‘ඕලු’ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිවහොත් නිවැරදි ද? 

ඔව්. මගේ වාසනාවත් සමග මට ඕලුගේ චරිතය ලැබුණා. ‘ඕලු’ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් වගේ ම ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් මාව හඳුනා ගන්නේ ඕලු කියන චරිතය ත් සමග යි. මට බොහෝ දෙනෙකුගේ හදවතේ රැ‍ඳෙන මතකයක් වෙන්න ලැබුණේ ඕලු චරිතය නිසා. එම නිසා ම මම ඕලු කියන චරිතයට ආදරෙ යි. මම නිර්මාණ බොහෝ ප්‍රමාණයකට සම්බන්ධ නොවුණත් ඕලු හරහා බොහෝ දෙනෙකු තුළ අමතක නොවන මතකයක් වෙන්න ලැබුණා. ඒ පිළිබඳව මට සතුටු යි.

ඔබ වැඩිපුර ම කළේ අහිංසක ගැමි චරිත. ඇයි වෙනස් චරිතවලට යොමු නොවුණේ?

මගේ පෙනුම ත් සමග ග්‍රාමීය අහිංසක චරිත මට වැඩිපුර ලැබුණා. ඒ ගැන ඇත්තට ම මට ත් සතුටු යි. මම ඒ චරිතවලට  ප්‍රිය කරනවා. මොක ද චරිතාංග නිළියක් විධියට කටයුතු කරනවාට වඩා පවුල් ජීවිතය සඳහා වැඩි කාලයක් වැය කරන්න මට අවශ්‍ය වුණා. 

ආපසු හැරී බලන විට ඒ ගැන දුකක් සිතෙන්නේ නැද්ද?

නැහැ. මම බොහෝ ම තෝරා බේරාගෙන නිර්මාණ සඳහා සහභාගි වූ කෙනෙක්. එම නිසා ම සමහර හොඳ අවස්ථා සහ නිර්මාණ මගෙන් ගිලිහුණා. නමුත් මගේ සිතට එකඟව මම තෝරා ගත් නිර්මාණ පිළිබඳව මට සතුටු යි. ඒ වගේ ම මම අද සිටින තැන ගැන ත් මම ප්‍රේක්ෂකයන්ගෙන් ලබාගෙන තිබෙන ආදරය ගැන ත් මම සතුටු වෙනවා. 

වර්තමානයේ ක්‍ෂේත්‍රය ඇතුළේ ගැටලු කිහිපයක් ම තිබෙනවා. ඒ ගැන කතා කළොත්?

අපි ක්‍ෂේත්‍රයට පැමිණි කාලය ත් සමග ගත් විට යම් යම් වෙනස්කම් කිහිපයක් ම දැන් ක්‍ෂේත්‍රය තුළ තිබෙනවා. ගුණාත්මක නිර්මාණ කෙරෙනවා සාපේක්ෂව අඩු යි. මාධ්‍ය නාලිකාවලින් නිර්මාණ සඳහා ගෙවන මුදල ආදිය ත් ඒ සඳහා බලපානවා. මම ත් නිෂ්පාදිකාවක් විධියට ඒ දේවල්වලට මුහුණ පාලා තිබෙනවා. එයට එක් පාර්ශ්වයකට පමණක් ‍දොස් කියන්න බැහැ. රටේ පවතින ආර්ථික තත්ත්වයත් මේ සඳහා බලපානවා. 

ප්‍රේක්ෂකයන්ගෙ ආදරය හිමිවෙන, මතකයේ රැඳෙන නිර්මාණ දැන් බිහි නොවන්නේ ඇයි?

නාලිකා, නිර්මාණකරුවෝ, රංගන ශිල්පී සහ ශිල්පිනියන් ආදී සියලු දෙනා ම මේ ප්‍රශ්නයට වගකිව යුතු යි. ලැබෙන මුදල සමග නිර්මාණවල ගුණාත්මක බව වැඩි කරන්න බැහැ. නිර්මාණ සඳහා එදා තරම් කාලයක් වැය කරන්න අද නොහැකි වෙලා තිබෙනවා. ඒ සියල්ල පැත්තකින් තබා අවම වශයෙන් කතා තේමාවන් වෙනස් ලෙස ගොඩනගනවා නම් යම් මට්ටමක් හදාගත හැකි යි. අද සමහර නිර්මාණවල ප්‍රධාන නළුවා අඳ ගොළු බිහිරි අයෙක් වගේ සිටිනවා. වටේ ම සිටින අය ආදරය ප්‍රකාශ කරනවා. කතා තේමාව තුළින් ප්‍රේක්ෂකයන්ට යම් ආදර්ශයක් සැපයිය යුතු යි කියලා මම සිතනවා. මේ අතර බොහොම අතළොස්සක් හොඳ නිර්මාණ ත් බිහි වෙනවා. 

නිෂ්පාදිකාවක විධියට ඉදිරියේදී නැවතත් කටයුතු කරන්න සූදානමක් තිබෙනවා ද? 

නැහැ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ම ඉදිරි කාලය වැය කරන්න තම යි මගේ බලාපොරොත්තුව.

කාන්තාවක විධියට මේ ක්‍ෂේත්‍රය තුළ වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යන්න අපහසුයි ද?

එහෙම නැහැ. වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යන්න පුළුවන්. මම පෞද්ගලිකව කැමැති යි මවක් විධියට විය යුතු  යුතුකම් සහ වගකීම් කැපවීමෙන් යුතුව ඉටු කරමින් දරුවන් සමග ම රැඳෙන්න. ආර්ථිකය ගොඩනගාගන්න මව රැකියාවල නිරත වීම තුළ බොහෝ පවුල් ජීවිත ඇතුළෙ විවිධ හැලහැප්පීම් සිදුවෙනවා අපි දකිනවා. මවක් දරුවන් වෙනුවෙන් වැඩිපුර කාලය යොදවනවා නම් වඩාත් හොඳ යි කියලා මම විශ්වාස කරනවා. 

අද තිබෙන තරගකාරී සමාජය තුළ එලෙස කාලය යොදවන්න බොහෝ විට අපහසු යි. නමුත් මම හැකි තරම් උත්සාහ කරනවා දරුවන් වෙනුවෙන් මගේ කාලය උපරිමයෙන් යොදවන්න. එය මගේ පෞද්ගලික කැමැත්ත මත පදනම්ව සිදුවෙන දෙයක් පමණ යි. ක්‍ෂේත්‍රය තුළ වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යන්න පුළුවන්.

අලුත් පරපුර ගැන මොක ද සිතන්නේ?

මොකක් හරි දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් වුණාට ජනප්‍රිය වෙන්න බැහැ. බොහෝ දෙනෙක් ප්‍රසිද්ධිය යි ජනප්‍රියත්වය යි පටලාගෙන තිබෙනවා අපි දකිනවා. ඒ වගේ ම ලැබෙන ජනප්‍රියත්වය රැක ගන්න බොහෝ දෙනෙක්ට  තේරුමක් නැහැ. ඒ වගේම ප්‍රසිද්ධියෙන් හිස උදුම්මවාගෙන කටයුතු කරනවා අපි දකිනවා. පලබර වෙන්න වෙන්න නිහතමානී විය යුතුයි.

ඔබ විදේශගත වීමට සූදානම්ව සිටිනවා යැයි සමාජ මාධ්‍ය හරහා කට කතාවක් පැතිරුණා. එය ඇත්තක් ද?

මම නැගණිය සමග අධ්‍යාපනය ලබන්න විදේශගත වෙනවා කියලා සමාජ මාධ්‍යවල ගොසිප් දාලා තිබුණා. නමුත් මට නැඟණියක් නැහැ. ඇත්තට එහෙම රට යන්න සූදානමක් නැහැ. 

ඕලු මනාලි නමින් ආරම්භ කළ ව්‍යාපාරය ගැන ත් කියමු?

ඔව්. ඕලු මනාලි නමින් මම ව්‍යාපාරයක් ආරම්භ කළා. ව්‍යාපාරයේ කටයුතුත් සේවක පිරිස සමග හොඳින් කරගෙන යනවා. 

ඉදිරි වැඩකටයුතු මොනවා ද? 

දරුවෝ දෙන්නාගේ වැඩ කටයුතු සඳහා ම ජීවිතේ  ඉදිරි කාලය ත් කැප වේවි. ඒ අතර ඉඩ ලැබෙන මොහොතක නිර්මාණවලට සම්බන්ධ වෙයි. පූර්ණ කාලීනව රංගනයට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. 

දරුවන්ගේ විස්තරත් කියමු?

පුතාගෙ නම ඕලිත සන්දුල්. පුතාගෙ වයස අවුරුදු හය යි මාස හය යි. දුව දිනුලි සෙහන්සා. දුවට අවුරුදු තුන යි මාස හය යි.