වෙනස් මුහුණුවරක් සමගින් බොක්සිං ක්‍රීඩිකාවක වූ ශෙහානි කහඳවල

Date:

පුංචි තිරයේ නිතර දැකීමට නොලැබුණ ත් අමතක නොවන චරිත හරහා ප්‍රේක්ෂකයින් අතර ආදරයට ලක් වන අපූරු රංගන ශිල්පිනියක ලෙස ඇයව හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. මේ දිනවල “පාර වසා ඇත” ටෙලි නාට්‍යයෙන්ප්‍රේක්‍ෂකයන්ගේ සිත්හි ලැගුම් ගත් ඇය ශෙහානි කහඳවල යි. 

කොහොම ද මේ දවස්වල ජීවිතේ?

හොඳින් සතුටින් කාලය ගත කරනවා. 

“පාර වසා ඇත” ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද? 

ප්‍රතිචාර ඉතා ම ත් ඉහළ යි. වෙනස් ප්‍රතිචාර ලැබෙනවා වගේ ම මෙතෙක් කිරීමට අවස්ථාව නොලැබුණු අපූරු චරිතයක්. එහි රූගත කිරීම් සමග මේ දිනවල කාර්ය බහුල වී සිටිනවා. 

බොක්සිං ක්‍රීඩිකාවකගේ භූමිකාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද? 

ඇත්තට ම ලොකු අභියෝගයක් වුණා. මෙතෙක් මම බොහෝවිට රඟපෑවෙ හුරුබුහුටි කෙළිලොල් පෙම්වතියගේ භූමිකාව යි. එයින් හාත්පසින් ම වෙනස් වූ මෙම චරිතය මට වෙනස් ම අත්දැකීමක් වුණා. ඉදිරියේදී ත් මෙම චරිතය තුළ නොසිතූවිරූ වෙනස්කම් රැසක් සිදු වේවි කියා මම විශ්වාස කරනවා. 

ඔබ විෂයක් ලෙස බොක්සිං ක්‍රීඩාව හදාරලා තියෙනව ද? 

නැහැ. මම කිසි ම දිනක කිසි ම ක්‍රීඩාවක් හදාරලා නැහැ. 

පෙර හැදෑරීමකින් තොරව ඔබ ඒ චරිතයට අනුගත වුණේ කොහොම ද? 

“පාර වසා ඇත” සමස්ත නාට්‍ය කණ්ඩායමෙන් ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේ ම මම මීට පෙර ක්‍රීඩා කර නොතිබුණ ත් ඕනෑ ම අභියෝගයක් සාර්ථකව ජය ගන්නට මට හැකියාව තිබෙනවා. 

පුංචි තිරයේ ඔබව සුලභව දකින්න ලැබෙන්නෙ නැත්තේ තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වන නිසා ද? 

නිර්මාණ බොහොමයකට මට ආරාධනා  ලැබෙනවා. නමුත් ආරාධනා ලැබෙන හැම නිර්මාණයක් ම මම භාර ගන්නේ නැහැ. මිනිසුන් වැළඳ ගන්න ආදරණීය නිර්මාණ පවතිනවා. එවන් නිර්මාණයකට ආරාධනා ලැබෙන තෙක් මම ඉවසීමෙන් බලා සිටිනවා. 

වෘත්තීයමය රංගන ශිල්පිනියකට තෝරා බේරාගෙන නිර්මාණවලට දායකවීම තුළ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගා ගත හැකි ද? 

ආර්ථික ස්ථාවරත්වය ගැන කල්පනා කළොත් එය මම කරන වෘත්තියට සිදු කරන අසාධාරණයක්. 

ඒ නිසා ආර්ථික වශයෙන් ස්ථාවර වීමට ලැබෙන සෑම නිර්මාණයක් ම භාර ගන්න මම සූදානම් නැහැ. ඉදිරියේදී ත් මේ ප්‍රතිපත්තියේ ම මම ඉන්නවා. 

ඔබගේ රංගන කාර්යයට බිමල් ජයකොඩිගෙන් ලැබෙන සහයෝගය කෙබඳු ද? 

ඔහු ත් සමග රංගනයේ යෙදීම පහසු යි. ඒ වගේ ම ඔහුගෙන් ලැබෙන සහයෝගය ඉතා ම ත් ඉහළ යි. බිමල් ජයකොඩි අයියා වගේ ම ජයනි සේනානායක අක්ක ත් මගේ රංගන කාර්යයට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මීට අමතරව සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාව වගේ ම ශිවගුරුනාදන් මහත්මයාවත් මම මේ වෙලාවේ මතක් කරනවා. එකී චරිතයේ සාර්ථකත්වය පිටුපස ඔවුන් සියලු දෙනා ම සිටිනවා. 

“පාර වසා ඇත” ටෙලි නාට්‍යයේ ඉදිරි කොටසක හිස මුඩු කිරීමටත් සිදු වෙනවා නේ ද? 

ඔව්. එකී චරිතය ඉදිරියේදී නිරූපණය කිරීමේදී එක්තැන් වෙන, රෝගී වන අවස්ථාවක් නිරූපණය කිරීමට සිදු වෙනවා. එහිදී හිස මුඩු කිරීමට මට සිදු වෙනවා. නමුත් භාරගත් තවත් නිර්මාණ කිහිපයක් තියෙන නිසා හිස ආවරණය කිරීමට අප තීරණය කළා. 

තරුණ රංගන ශිල්පීින්ගේ විනයානුකූල බව හා ප්‍රවීණයන්ට ගරු කිරීම පිළිබඳව බොහොමයක් ප්‍රවීණයන් විවේචනාත්මකව කතා කරනවා. ඔබ ඊට දෙන පිළිතුර කුමක් ද? 

එය එක් එක් පුද්ගලයන් අනුව සාපේක්‍ෂ යි. එවන් තත්ත්වයක් තිබීමට යම් අවකාශයක්  තිබෙනවා. නමුත් මම ඒ කුලකය නියෝජනය කරන්නෙ නැහැ. යම් කණ්ඩායමක් සමග කටයුතු කිරීමේදී මට ම වෙන් වූ විනයක් තිබෙනවා. ඒ වගේ ම ප්‍රවීණයන්ට නිසි ගරුත්වය ලබා දෙන්න මම දන්නවා. ඔවුන් පෙන්වන වැරදි අඩුපාඩු හදා ගනිමින් සහයෝගී ගමනක් මම යනවා. ඒ නිසා එවන් විවේචන මට එල්ල වෙලා නැහැ. 

නිර්මාණකරණය තුළ හැකියාවට සරිලන වේතනයක් නොලැබීමේ තත්ත්වය ඔබ දකින්නේ කොහොම ද? 

ඔව්. එය විශාල අර්බුදයක්. ඇත්තට ම බොහෝ අවස්ථාවන්වලදී හැකියාවට සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ. එය කලා ක්‍ෂේත්‍රයේ සිටින සියල්ලන්ට ම පොදු වූ තත්ත්වයක්. තමන් මහන්සි වී යම් කාර්යයක් කරනවා නම් ක්‍ෂේත්‍රය තුළ තමන් නමක් ගොඩනගාගෙන තිබෙනවා නම් තමන්ට මිලක් නියම කරන්නට හැකියාවක් තිබෙනවා. 

චිත්‍රපටවලට ආරාධනා ලැබෙනවා ද? 

පසුගිය වසර තුළ චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. කොරෝනා තත්ත්වය නිසා එහි වැඩ කටයුතු ප්‍රමාද වුණා. මේ වසරේ මැද භාගයේදී එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට බොහෝවිට ඉඩකඩ පවතිනවා. 

ප්‍රතිරූපය නඩත්තු කිරීම වෘත්තීමය රංගන ශිල්පිනියකට කොතෙක් දුරට වැදගත් ද? 

අපගේ දක්ෂතාව එළි දැක්වීමට රූපය බොහෝ සෙයින් ඉවහල් වෙනවා. ඒ නිසා වෘත්තීයමය රංගන ශිල්පියෙකුට හෝ රංගන ශිල්පිනියකට දක්‍ෂතාව වැඩි දියුණු කර ගන්නවා සේ ම ප්‍රතිරූපය නඩත්තු කිරීමත් අත්‍යවශ්‍ය යි. 

ඇතැම් රංගන ශිල්පීන් ප්‍රතිරූපය නඩත්තු කිරීමට එන්නත් හා ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදු කරනවා. ඔබ ඒ පිළිබඳව දක්වන අදහස කිව්වොත්?

තමන්ගේ ආත්ම ශක්තිය ගොඩනගා ගැනීමට එය කළ යුතු දෙයක් නම් එය සිදු කිරීම කිසිසේත් ම වරදක් නොවෙයි. එය තමන්ගේ කැමැත්ත. ඒ පිළිබඳව කිසි ම විවේචනයක් මම ඉදිරිපත් කරන්නේ නැහැ. 

ඔබත් ලිප් සර්ජරි එකකට බඳුන් වුණා කියලා කට කතාවක් පැතිරෙනවා. එය සත්‍යයක් ද? 

කොහෙත් ම නැහැ. මගේ මේක් අප් ස්ටයිල් එක මම වෙනස් කළා. කිසි ම සර්ජරි එකක් මම සිදු කරලා නැහැ. 

අනාගත බලාපොරොත්තු මොනවා ද? 

මම ලොකු බලාපොරොත්තු තබාගන්න කැමැති කෙනෙක් නොවෙයි. අද දවස ලස්සනට ගත කිරීමයි මගේ එක ම බලාපොරොත්තුව. 

ශෙහානි මේ වන විට පෙම්වතියක් ද? 

නැහැ.

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

ජැක්සන් ඇන්තනී රිය අනතුරකට ලක්වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු ගමන්ගත් මෝටර්...

ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇයගේ...

රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනවලට නව සභාපතිවරුන් සහ නව අධ්‍යක්ෂ...

ජස්ටින් බීබර් අසනීපයෙන්: ප්‍රසංගත් කල් දමයි (VIDEO)

මුහුණ ආශ්‍රිතව හටගත් අංශභාග රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනප්‍රිය ගායකයෙකු...