Facebook ඊයේ සිට Meta සමාගම යටතට

0
376

ෆේස්බුක් සමාගම සිය සමාගම් නාමය වෙනස් කර නව නාමයක් එළිදක්වා තිබේ.

ඒ, අනුව එම සමාගම ‘Meta’ ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 

ෆේස්බුක් සමාගමේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ගේ Virtual Reality නිර්මාණ කෙරෙහි අවධානය යොමු කෙරෙන නව නමක් ලෙස මෙය හඳුන්වා ඇත.

ඊයේ (ඔක්. 28) පැවති එම සමාගමේ වාර්ෂික හමුවේදී මෙම නව නාමය එළිදක්වා තිබේ.

ඒ අනුව වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් ඇතුළු එම සමාගමේ අනෙකුත් සන්නාමයන් අධීක්ෂණය කරන ‘Meta’ සමාගම යටතට අයත් තවත් එක් යෙදුමක් ලෙස ෆේස්බුක් යෙදුම ද ස්ථානගත වනු ඇත.

මිනිසුන්ට විවිධ උපාංග අතර මාරු වී වර්චුවල් පරිසරයක සන්නිවේදනය කළ හැකි ඩිජිටල් ලෝකයක් වන ‘මෙටාවර්ස්’ පිළිබඳව ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් අදහස් පළ කරමින් සිටින බවත් ඔවුන් වර්චුවල් රියැලිටි සහ ඔග්මෙන්ටඩ් රියැලිටි සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවත් ‘ද වර්ජ්’ ඉකුත් දා පළ කළ ලිපියක් මගින් පෙන්වා දී තිබිණි.

එමෙන් ම, සමාජ මාධ්‍යයක් ලෙස ස්ථාපනය කෙරුණු ෆෙස්බුක් සමාගම සිය Oculus VR headsets, AR Glasses සහ wristband තාක්ෂණික උපාංග වැඩි දියුණු කිරීමේ කටයුතුවලට අවධානය යොමු කර ඇතැයි ‘ද වර්ජ්’ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ෆේස්බුක් සමාගම ලක්වී ඇති විවේචන අනුව මෙලෙස නාමය වෙනස් කිරීම හොඳ අදහසක් බව ය.