ෆේස්බුක් අලුත් නමකින් එයි

0
350

ෆේස්බුක් සමාගම සිය සමාගම් නාමය වෙනස් කර නව නාමයක් එළිදැක්වීමට සැලසුම් කරමින් සිටින බව ඇමරිකානු තාක්ෂණික බ්ලොග් අඩවියක් වන ‘ද වර්ජ්’ වාර්තා කරයි.

ඔවුන් සඳහන් කරන්නේ, ෆේස්බුක් සමාගමේ නවතම හඳුන්වාදීම වන ‘මෙටාවර්ස්’ පිළිබඳව ද අවධානය යොමු කරමින් එළඹෙන සතියේදී ෆේස්බුක් සමාගම සිය වෙනස් කරන ලද නාමය ප්‍රකාශයට පත් කරනු ඇති බව ය.

එළඹෙන ඔක්තෝබර් 28 වන දින එම සමාගමේ වාර්ෂික හමුවේදී මෙම නව නාමය එළිදැක්වීමට නියමිතව ඇති නමුත් බොහෝවිට ඊට පෙර වුව ද එහි වෙනස් වීම සිදුවිය හැකි බවට ‘ද වර්ජ්’ සඳහන් කර තිබේ.

ඒ අනුව වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් ඇතුළු එම සමාගමේ අනෙකුත් සන්නාමයන් අධීක්ෂණය කරන මව් සමාගමයක් යටතට අයත් තවත් එක් යෙදුමක් ලෙස ෆේස්බුක් යෙදුම ද ස්ථානගත වීමට නියමිත බව එම වාර්තා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ෆේස්බුක් සමාගම මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැතැයි ‘ද වර්ජ්’ සඳහන් කරයි.

මිනිසුන්ට විවිධ උපාංග අතර මාරු වී වර්චුවල් පරිසරයක සන්නිවේදනය කළ හැකි ඩිජිටල් ලෝකයක් වන ‘මෙටාවර්ස්’ පිළිබඳව ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් අදහස් පළ කරමින් සිටින බවත් ඔවුන් වර්චුවල් රියැලිටි සහ ඔග්මෙන්ටඩ් රියැලිටි සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවත් ‘ද වර්ජ්’ පෙන්වා දී ඇත.

එමෙන් ම, සමාජ මාධ්‍යයක් ලෙස ස්ථාපනය කෙරුණු ෆෙස්බුක් සමාගම සිය Oculus VR headsets, AR Glasses සහ wristband තාක්ෂණික උපාංග වැඩි දියුණු කිරීමේ කටයුතුවලට අවධානය යොමු කර ඇතැයි ‘ද වර්ජ්’ වැඩිදුරටත් සඳහන් කර තිබේ.