කි.මී. මිලියන 400ක් ගෙවා මාස 7කට පසු අඟහරු මතට ගොඩබැස්ස Perseverance රෝවරය

0
409

අඟහරු ග්‍රහයා මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා අභ්‍යවකාශගත කෙරුණු නාසා ආයතනයේ පර්සවියරන්ස් (Perseverance) රෝවරය එම ග්‍රහයා මත සාර්ථකව ගොඩබස්වා තිබේ.

අඟහරු ග්‍රහයාගේ වායුගෝලයට ඇතුළු වීමට පෙර කිලෝමීටර මිලියන 472ක් පැයට කිලෝමීටර 19,000ක වේගයකින් ආවරණය කළ මෙම රෝවරය මාස 7කට ආසන්න අභ්‍යාවකාශ ගමනකින් අනතුරුව මෙරට වේලාවෙන් අද (19) අලුයම 2.25ට පමණ රෝවරය අඟහරු ග්‍රහයාගේ Jezero ආවාටයට ගොඩ බස්වා ඇත.

රෝද හයකින් සමන්විත මෙම රෝවරය කැණීම් සිදු කරමින් අවම වශයෙන් අවුරුදු දෙකක කාලයක් පුරා අතීතයේ ජීවය පැවතියා ද යන්න තහවුරු කර ගැනීමට සාක්ෂි සොයමින් අඟහරු ග්‍රහයා මත ගත කරනු ඇත. 

එම යානය 2030 වසර වන විට ඊට අදාළ සාම්පල ද රැගෙන පෘථිවිය වෙත ළඟා වෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

එය සැලකෙන්නේ, වෙනත් ග්‍රහ ලෝකයක් වෙත යවන ලද වඩාත් ම දියුණු තාරකා ජීව විද්‍යාගාරයක් ලෙසය.

මෙම රෝවරය නාසා ආයතනය විසින් 2020 ජූලි මස 30 වන දා අඟහරු ග්‍රහලොව බලා පිටත් කරවන ලදී.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, මීට වසර බිලියන ගණනකට පෙර Jezero ආවාටයේ යෝධ විලක් පිහිටා තිබෙන්නට ඇති බවය. ජලය ඇති තැන, ජීවයක් ද තිබෙන්නට ඇති බවට ඔවුහු විශ්වාස කරති.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය විසින් අඟහරු මතට ගොඩ බැස්වූ ටොන් එකක් බරැති දෙවන රෝවරය මෙයයි.

පළමු වැන්න Curiosity රෝවරය අඟහරුගේ වෙනත් ආවටයකට 2012 වසරේදී ගොඩ බස්වනු ලැබීය.

අන්වීක්ෂීය මට්ටම දක්වා ම පරීක්ෂා කළ හැකි මෙම රෝවරය අතිනවීන ගවේෂණ උපකරණවලින් සමන්විත වන අතර කැමරා 23ක්, මයික්‍රොෆෝන 2ක් සහ කුඩා චොපර් යානයකින් ද සමන්විත වේ.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, පෙර අඟහරු මතට යැවූ රෝවරවල නොතිබුණු ශබ්ද ග්‍රහණය කර ගැනීමේ හැකියාවය. ඒ අනුව, අඟහරු ග්‍රහයාගේ සැබෑ ශබ්ද ශ්‍රවණය කිරීමට මේ හරහා පර්යේෂකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

එමෙන් ම, ප්‍රථම වරට වෙනත් ග්‍රහ ලෝකයක ගුවන්යානයක් (Mini Chopper) පියාසර කරන මෙහෙයුම ලෙස ද මෙය ඉතිහාසගත වේ.

Perseverance rover

අඟහරු මතදී ගත් ඡායාරූපයක්