ලෝකයේ අවසානය පෙන්වන ඔරලෝසුව: Doomsday Clock

0
511

ලෝකයේ අවසානය හෙවත් මානව වර්ගයා මහා ව්‍යසනයකට කෙතරම් සමීපද යන්න නිරීක්ෂණය කිරීම පිණිස ඩූම්ස්ඩේ ඔරලෝසුව 1947දී නිර්මාණය කරන ලද්දේ පරමාණුක විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි. 

මෙම ඔරලෝසුව දැන් වෙන කවරදාටත් වඩා මධ්‍යම රාත්‍රියට ආසන්නව ඇති හෙයින්, ලෝකය විනාශ වීම වැළැක්වීම සඳහා අප ගන්නා උත්සාහයන් වේගවත් කළ යුතු බව භෞතික විද්‍යාඥයෝ කියා සිටිති.

යුද්ධමය, දේශපාලනමය හා පාරිසරික වශයෙන් ගෝලීය තත්ත්වය නරක අතට හැරීම හෝ වැඩිදියුණු වීම මත වසර ගණනාවක් තිස්සේ පසුපසට හා ඉදිරියට ඔරලෝසුවේ කටු ගමන් කර ඇත. 

නමුත් පසුගිය ජනවාරි 23 දින ඔරලෝසුව එහි අවුරුදු 73ක ජීවිත කාලය තුළ වෙන කවරදාටත් වඩා මධ්‍යම රාත්‍රියට ආසන්නයට ගෙන යනු ලැබිණි. එහි අර්ථය අප මහා විනාශය ආසන්නයට පැමිණ සිටින බවයි.

ඩූම්ස්ඩේ ඔරලෝසුව වාර්ෂිකව නැවත සකස් කිරීම ප්‍රධාන මාධ්‍ය සිදුවීමක් වන අතර එය ලොව පුරා දේශපාලනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ විචාරකයන් සඳහා ඉඟියක් සපයයි. 

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු මෙම ඔරලෝසුව නිර්මාණය කිරීම සිදු වූයේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥයන් දෙදෙනකු වන Eugene Rabinowitch සහ Hyman Goldsmith ප්‍රමුඛ භෞතික විද්‍යාඥයන්ගේ මූලිකත්වයෙනි.

1945 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය විසින් හිරෝෂිමා සහ නාගසාකි වෙත හෙළන ලද පරමාණු බෝම්බ නිපදවූ මෑන්හැටන් ව්‍යාපෘතියට සහභාගි වූ පිරිස අතර ඔවුන් ද විය. 

2020 වර්ෂයට පෙර ඩූම්ස්ඩේ ඔරලෝසුව මධ්‍යම රාත්‍රියට වඩාත් ආසන්න වූයේ 1953 වසරේදීය. ලෝකයේ අවසානය පිළිබඳ සඳහන් කරන බයිබලය, ඒ යුගය හඳුනාගැනීමට ඉවහල් වන ලක්ෂණ ගණනාවක් මතෙව් 24 පරිච්ඡේදයේ සඳහන් කර ඇත. අපි දැන් ඒවා අත්දකිමින් සිටිමු.