දාහතර හැවිරිදි වීදි දැරියක් වයස හංගලා තරුණයකු සමඟ එකට ජීවත්වෙලා

  👤  1102 readers have read this article !
By mawbima 2019-02-12

අමිල අබේරත්න


අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ 20 හැවිරිදි තරුණයකු මේ මස 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (11දා) නියෝග කළේය.


බාලවයස්කාර දැරියගේ කැමැත්ත ඇතිව අදාළ තරුණයා දැරිය රැගෙන ගොස් එකට ජීවත්වී ඇති අතර තරුණයා අධිකරණය හමුවේ පවසා සිටියේ රැගෙන යන අවස්ථාවේ තමාට අවුරුදු 17ක් බව ඇය පැවැසූ බවය.


ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවෙසක ඔවුන් ජීවත්වී ඇති අතර අදාළ දැරිය කොළඹ ගංගාරාමය අසල තම මවුපියන් සමඟ පදික වේදිකාවේ ජීවත්වූ තැනැත්තියකි.
අදාළ තරුණයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වැඩ බිමක කම්කරුවකු ලෙස නිරත වූ තැනැත්තෙකි.


බාලවයස්කාර දැරියක් මවුපියන්ගේ කැමැත්තකින් තොරව ගෙනයෑම, අවුරුදු 7ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බවද ලිංගිකව එක්වීම අවුරුදු 20ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බවද මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.


වින්දිත දැරිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර වින්දිත දැරිය රන්මුතුගල ළමා නිවාසයෙහි තාවකාලිකව රඳවා තබන ලෙසට නියෝග කළේය.


විත්තිකාර තරුණයා මහෙස්ත්‍රාත්වරයා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා සිටියේ තමා කසාද බැඳීම සඳහා අදාළ දැරිය රැගෙන ගිය බවය.
මවුපිය ආරක්‍ෂාව සහ රැකවරණය නොලැබීම මත අදාළ දැරිය 2010 වසරේදී අධිකරණය මඟින් ඉර්ණීඉ ළමා ගම්මානයට භාරදී ඇත.
කොම්පඤ්ඤවීදිය පොලිසියේ නඩු අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උපාලි බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ දීමනා වැද්දේවෙල මහත්මිය පෙනී සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon