සැකකටයුතු පුද්ගලයා අල්ලද්දී රාලහාමිගේ පපුවයි අතයි දරුණු ලෙස හපාකයි

  👤  1098 readers have read this article !
By mawbima 2019-02-12

කැලණිය _ කුසුම් එස්. හැන්නදි


සපුගස්කන්ද පොලිසියේ දූෂණ වැටලීම් අංශයේ නිලධාරීන් දෙදෙනකු 10 වැනිදා සවස සපුගස්කන්ද පවර්හවුස් හන්දිය ආසන්නයේ කොට්ටුන්න පාරේ දූෂණ මර්දන රාජකාරියේ යමින් සිටියදී සැකකටයුතු පුද්ගලයකු දැක ඔහු පරීක්ෂා කිරීමට සූදානම් වනවිට සැකකරු පොලිස් ග්‍රහණයෙන් මිදී පලාගොස් ඇත. මෙහිදී එක් නිලධාරියකු සැකකරු පසුපස හඹා ගොස් ඔහු මහත් පරිශ්‍රමයක් දරා සිය ග්‍රහණයට හසු කරගෙන ඇති අතර පොලිස් නිලධාරියාගෙන් මිදී පලා යෑමට උත්සාහ කළ සැකකරු නිලධාරියාට පහරදී ඔහුගේ අතක්ද පපු ප්‍රදේශයද දරුණු ලෙස සපාකමින් ලේ ගලන තුවාල කර ඇත.


සැකකරු සමඟ එක් නිලධාරියකු පොර බදන අතර අනෙක් නිලධාරියා සපුගස්කන්ද පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මෙම සිද්ධිය දුරකථනයෙන් සැලකිරීමෙන් පසු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත ජයකොඩි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ බලය යොදා සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇත.


මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශය පුරා ප්‍රසිද්ධව ඇත්තේ පොළඟා යන අන්වර්ථ නමින් බවත් පොලිස් ඇසට වැලි ගසමින් මත්කුඩු ජාවාරමේ නිරතවන්නකු බවත් පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු හඳුනාගෙන ඇත. ඔහු 25 හැවිරිදි සපුගස්කන්දේ පදිංචිකරුවකු බව පොලිසිය පැවැසීය.


සැකකරු සෝදිසි කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් පනහක්ද, අයිස් නමැති විස මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් තුන්දහසක්ද සොයාගෙන ඇත.


සැකකරු සපා කෑම නිසා තුවාල ලද පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එම නිලධාරියාගේ අතට සහ පපුවට දත් පහරවලින් දරුණු ලෙස තුවාල සිදුවී ඇත. තමාට එල්ල කරන ප්‍රහාර ගැන නොතකා පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණෙන තෙක් සැකකරු සිය ග්‍රහණයේ රඳවා තබා ගැනීමට නිලධාරියා සමත් වී ඇත.


සැකකරු 11 වැනිදා මහර අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවැසීය. මෙම මත්කුඩු ජාවාරම්කරු කුඩු ජාවාරමේ නිරත වෙමින් මත්කුඩු බීමටද තදින්ම ඇබ්බැහි වී සිටි අයකු බවත් ඔහුට විරුද්ධව මීට පෙර කොළඹ මහාධිකරණයේද නඩු පවරා තිබී ඇති බවත් පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.


බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, කැලණි කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ, දිස්ත්‍රික් අංක 02 භාර කාන්තා පොලිස් අධිකාරිනි මදාරා ආරියවංශ යන පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත සපුගස්කන්ද පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත ජයකොඩි, උප පොලිස් පරීක්ෂකවරුන් වන නිපුන, නිරෝෂන, කුලරත්න, පොලිස් කොස්තාපල් තිලකරත්න (36589), දහනායක (71335), කුමාර (71453), ලක්මාල් (82436) සහ දැනට රෝහල් ගතව සිටින නුවන් චතුරංග (84427) යන නිලධාරීන් විසින් මෙම මත්කුඩු ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon