අයිතිකරුට නොදන්වා නියමුවා බහුදින යාත්‍රාවට සෙනඟ පටවාගෙන ප්‍රංශයට ගිහින්

  👤  1103 readers have read this article !
By mawbima 2019-02-12

හලාවත _ ප්‍රසාද් පූර්ණමාල්


මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ජේ. ප්‍රශංසා නමැති බහුදින ධීවර යාත්‍රාව ඊට ආසන්න දිනකදී හලාවත මුහුදේදී මිනිසුන් හැත්තෑ දෙකක් පටවාගනිමින් ප්‍රංශයට අයත් රීයුනියන් නමැති දූපතට ළඟා වී ඇති බව වාර්තා වේ. මේ යාත්‍රාව මීගමුව ධීවර වරායෙන් මුහුදු ගොස් ඇත්තේ පසුගිය ජනවාරි නව වැනි දිනයි. ඒ අනුව දින විසිපහක කාලයක් තුළ මේ යාත්‍රාව රීයුනියන් දූපතට ළඟා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.


මේ බහුදින යාත්‍රාව සුදර්ශන් පෙරේරා නමැති හලාවත ධීවර ව්‍යාපාරිකයකුට අයත් අතර මෙහි නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ මහවැව - තොඩුවාව පදිංචි එම්.සී.කේ. ප්‍රනාන්දු නමැති අයෙකි. මේ නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය මේ ජාවාරම පිටුපස සිටින බවට බහුධින යාත්‍රාවේ හිමිකරු මේ වනවිට මීගමුව පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.


පසුගිය නව වැනි දින යාත්‍රාවේ හිමිකරු යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන, අයිස් ඇතුළු ආහාර ලබා දී යාත්‍රාව පිටත් කර ඇත. ඉන් අනතුරුව මේ ජාවාරම සිදුවී ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී තිබේ.


මේ යාත්‍රාවේ නියමුවාගේ පවුලේ සියලු දෙනා ඇතුළු කාර්ය මණ්ඩලේ ඇතැම් සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ද සිට ඇති බවට තොරතුරු ලැබී ඇත.
කාර්ය මණ්ඩලයේ හැර අනෙක් සියලු දෙනාගෙන් රුපියල් ලක්ෂ හයේ සිට ලක්ෂ දහය දක්වා මුදල් එකතු කර ඇති බවටද තොරතුරු ලැබී ඇත. මේ අතර කුඩා දරුවන් හා කාන්තාවන්ද සිට ඇත.


තම යාත්‍රාව මේ සියලු දෙනා සමඟ නැවත මෙරටට ගෙන්වා දෙන ලෙස හිමිකරු මෙරට රජයෙන් හා ප්‍රංශ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon