ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේත් අධිකරණයේත් ස්වාධීනත්වය රකින්නයි

  👤  1090 readers have read this article !
By mawbima 2019-02-12

ශිරාන් රණසිංහ


පුරප්පාඩු ඇති සෑම ආසනයකටම නව සංවිධායකවරයෙක් පත්කර ඉදිරියේදී පිහිටුවා ගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ මඟින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් නිදහස් සමාජයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.


අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී එ.ජා.ප. නව ආසන සංවිධායකවරු හයදෙනකුට ඊයේ (11දා) පත්වීම් ලිපි භාරදීමේ අවස්ථාවට එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියලු දෙනා සිය වගකීම් නිසි ලෙස ඉටු කරනු ඇති බව පැවැසූ වික්‍රමසිංහ මහතා එලෙස ඒ වගකීම් ඉටු නොකරන සංවිධායකවරු සිටී නම් ඔවුන් සම්බන්ධව ගත යුතු පියවර කුමක්දැයි තම පක්ෂය තීරණය කර තිබෙන බව වැඩිදුරටත් පැවැසීය.


තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.


"පුරප්පාඩු වී පවතින එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සඳහා නව ආසන සංවිධායකවරු පත්කිරීමට අපේ පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි එක් පියවරක් ලෙස අද මේ ස්ථානයේදී නව ආසන සංවිධායකවරු 6 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කරනවා.


අද පක්ෂයේ ආසන සංවිධායක ධුර භාරගන්නා මේ සංවිධායකතුමන්ලා නව වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට යා යුතුයි. මේ අයට මාගේ ස්තුතිය පළ කර සිටිනවා.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ එකතු වී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ පෙරමුණට සියලු බලවේග ඒකරාශී කරගැනීම අපේ අරමුණයි. ඒ සටනට සූදානම් වීම අප මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා.


අද ආසන සංවිධායකවරු ලෙස පත් වූ ඔබ සියලු දෙනා සහ අනෙකුත් අපේ සංවිධායකවරු තමන් වෙත පැවරෙන වගකීම නිසි ලෙස ඉටු කළ යුතුයි. එලෙස යම් සංවිධායකවරයෙක් කටයුතු නොකරන්නේ නම් ඒ අය පිළිබඳවද පක්ෂය ගතයුතු පියවර තීරණය කර තිබෙනවා."


මේ අවස්ථාවට සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා ආගමික නායක තුමන්ලාද, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අධ්‍යාපන අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුද එක්වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon