ත්‍රිපුද්ගල අධිකරණය විත්තියේ විරෝධතා ඉවත දමයි

  👤  2518 readers have read this article !
By mawbima 2019-02-12

කේ.එස්. උදයකුමාර්

පසුගිය රජය සමයේ හම්බන්තොට _ මැදමුලන ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිය විසින් ගොනු කළ මූලික විරෝධතා ඊයේ (11දා) එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව දෙනු ලැබීය.
මෙම නඩුව ඉකුත් 22 වැනිදා කැඳවූ අවස්ථාවේදී මූලික විරෝධතාවක් මතු කළ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රමුඛ විත්තියේ නීතිඥවරු මෙම නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් මූලික විරෝධතාවක් මතු කර තිබිණි.

මෙම විශේෂ මහාධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ බරපතළ මූල්‍ය සහ ආර්ථික වැරැදිවලට සම්බන්ධ නඩු විභාග කිරීමට පමණක් බවත් සාමාන්‍ය මහාධිකරණයක් වෙත යා යුතු මෙවැනි නඩුවක් විභාග කිරීමට මෙම විශේෂ අධිකරණයට බලයක් නොමැති බවත් එම මූලික විරෝධතාවලින් විත්තියේ නීතිඥවරු කරුණු දක්වා තිබිණි.

ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවයි.

අගවිනිසුරුවරයා විසින් නිකුත් කර ඇති විධානයක් පරිදි මෙම නඩුව විභාග කිරීමට මෙම අධිකරණය තීන්දු කර ඇති බවත් ඒ අනුව මෙම අධිකරණයට පැවරී ඇති බලතල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බවද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. ඒ අනුව මෙම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාග කිරීමට තීරණය කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.

මෙම නඩුව විභාග කරන ලෙස දන්වා අගවිනිසුරුවරයා විසින් නිකුත් කර තිබෙන විධානයෙහි පිටපතක් තමන් වෙත ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරු මීට පෙර ඉල්ලීම් කර තිබුණත් ඒ සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විරෝධය පළ කර තිබිණි. එහෙත් මෙම නඩුවට අදාළව අගවිනිසුරුවරයා විසින් නිකුත් කර තිබෙන විධානය ප්‍රසිද්ධ ලේඛනයක් බැවින් එහි පිටපතක් විත්තිකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නැයි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එහි ලේඛකාධිකාරිවරයාට නියම කරනු ලැබීය.

මෙම නඩුවේ හය වැනි විත්තිකරු ලෙස නම් කර සිටින මහින්ද සාලිය නමැත්තා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

නඩුව නැවත ලබන 22දා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එදින මෙම නඩුවට අදාළ උත්තරවාද ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විත්තිකරුවන්ට නියම කළේය.
මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී නඩුවේ පළමු වැනි විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර නඩුව ආරම්භ වී ස්වල්ප වේලාවකින් ඒ මහතා අධිකරණය හමුවට පැමිණියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ පෙරවරුවේ අධික මාර්ග තදබදයක් පැවැතීම හේතුවෙන් ඔහුට අධිකරණය වෙත ළඟාවීමේදී ප්‍රමාදයක් ඇති වී තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විත්තිකරුවන්ට අධිකරණ කටයුතු ආරම්භ වන නිසි වේලාවේ අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසට අවවාදයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පසුගිය දිනෙක තමාට අධිකරණය හමුවට පැමිණීමට ප්‍රමාදයක් ඇති වූ අවස්ථාවේ විත්තිකරුවන් නි‍ෙදාස්කොට නිදහස් කරන්නැයි විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටි බව සිහිපත් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, විත්තිකරුවන්ද නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටීම වැදගත් බව අවධාරණය කර සිටියේය.

එම කරුණ පිළිගත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල සියලුම විත්තිකරුවන් නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටීමට වගබලා ගතයුතු බව අවවාද කළේය.

ඉකුත් රජය සමයේ මැදමුලන ප්‍රදේශයේදී ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීම් සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය නම් කරනු ලැබ සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon