ජාතික ආණ්ඩු යෝජනාව සදාචාර විරෝධීයි

  👤  2523 readers have read this article !
By mawbima 2019-02-12

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආණ්ඩුවක් සඳහා වන යෝජනාව සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූල හා නීත්‍යනුකූල නොවන සදාචාර විරෝධී ඉල්ලීමක් ලෙස මූලිකවම ප්‍රතික්ෂේප කරන ලෙස සත්‍ය ගවේෂකයෝ සංවිධානය කථානායක කරු ජයසූරිය වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ ආකාරයට තමන්ට බලය රැක ගැනීමට උපකාර කරන ලද මන්ත්‍රිවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර ලෙස අල්ලස් ලබාදීම සදාචාර විරෝධී මෙන්ම නීත්‍යනුකූලද නොවන බව එම ලිපිය මඟින් පෙන්වා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) ව්‍යවස්ථාව ප්‍රකාරව කරුණු දැක්වීමේදී සඳහන් කර ඇත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී යන්න බවත් එලෙස දක්වන්නේ නම් අලුතෙන් ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයිද මේ අවස්ථාවේදී පවතින ආණ්ඩුවක් ඇති අතර එහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මූලික වන බව එම ලිපිය මඟින් පෙන්වා දී ඇත.

එම අවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අරමුණු කරන්නේ නම් ඔහු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එම ලිපිය මඟින් කථානායකවරයාගේ අවධානය යොමු කර ඇත.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවට බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එක්සත් ජාතික පක්ෂය නැවත බලය පිහිටුවීමට අත එසවූ ජනතා විමුක්ති පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයෙන් ඍජු ලෙස ඡන්දයට ඉදිරිපත් නොවූ අනෙකුත් පක්ෂවලට මෙලෙස අමාත්‍යවරුන් වැඩි කිරීම සඳහා අත එසවීමට කිසිදු ආකාරයේ සදාචාරාත්මක අයිතියක් නොමැති බව එම ලිපිය මඟින් පෙන්වා දෙන සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් සී. ‍ෙදාලේවත්ත ඔවුන් හැසිරෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න ජනතාව අවදියෙන් බලා සිටින බවද එම ලිපියේ දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් මැදිහත් වීමේ උපදේශන බලය ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බැවින් අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතද යවා ඇති බව නීතිඥ ප්‍රේම්නාත් සී. ‍ෙදාළවත්ත පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon