ශ්‍රී ලනිප හිටපු ආසන සංවිධායකවරුන් 2කට එජාප ආසන සංවිධායක තනතුරු

  👤  2524 readers have read this article !
By mawbima 2019-02-12

ශිරාන් රණසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරු දෙදෙනකු ඇතුළු එජාපයේ නව ආසන සංවිධායකවරු හය දෙනකුට පත්වීම් ලිපි භාර දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අරණායක සංවිධායක ලලිත් දිසානායක මහතාට අරණායක එජාප සංවිධායකකම පිරිනැමීම මෙන්ම පළාත් සභා හිටපු ඇමැතිවරයෙක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සෙංකඩගල ආසන සංවිධායක ලෙස කටයුතු කළ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාට පාතදුම්බර එජාප ආසන සංවිධායක ධුරය භාරදීම විශේෂත්වයකි.

මීට අමතරව නව ආසන සංවිධායකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාට මීගමුව එජාප සංවිධායක ධුරයත් ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට දඹදෙණිය ආසන සංවිධායකකමක් භාර දී ඇත. වාරියපොළ ආසනයට මංජුල බණ්ඩාර මහතා පත්කර ඇති අතර හිරියාල එජාප සංවිධායක ලෙස උදය විජේනායක මහතා පත්කර තිබේ.

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ගත් තීරණ මත ඉදිරියේදී තවත් ආසන කිහිපයකට නව ආසන සංවිධායකවරු පත් කිරීමට නියමිතව ඇත.

මෙම එජාප නව ආසන සංවිධායක පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, මලික් සමරවික්‍රම යන මහත්වරුද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon