අපේ ජනපති අපේක්ෂකයා පොහොට්ටුවේ වීම අනිවාර්යයි

  👤  2898 readers have read this article !
By mawbima 2019-02-12

ඉෂාරා සිල්වා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවකුට අයිතියක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (11දා) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවේදී අදහස් දක්වමිනි.

පසුගිය 05 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන මන්ත්‍රිවරු සහ බැසිල් රාජපක්ෂ මහතා අතර දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන අතර ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන්ගේ හමුව පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන් සඳහන් කළේ එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කිරීමට දේශපාලකයන් පෙලඹී ඇති බවයි. ඉදිරියේදී සන්ධාන ගත වන බව සඳහන් කරන සමහර පක්ෂවල නායකයන් පවා කිසිදු වග විභාගයකින්, පක්ෂ නායකයන්ගෙන් නොවිමසා සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වීම අරඹා ඇතැයිද පළාත් පාලන ආයතන මන්ත්‍රිවරු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොවන ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් දිනවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති කිසිසේත් සූදානම් නැතැයිද එම මන්ත්‍රිවරු අදහස් දක්වමින් පැවැසූහ.
මෙහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟුණේ ගමෙන්. පක්ෂයේ නායකත්වය හදන්න කලින් සාමාජිකයා හැදුණු පක්ෂයක්. ඒ විදියටම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සැකසීමේ කටයුත්ත සිද්ධ වෙන්නෙත් ගමෙන්. ගමේ පාක්ෂිකයාට පළමු තැන දෙන දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකැමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න කිසිදු සූදානමක් නැහැ.

ඒ නිසා ගමේ පාක්ෂිකයා අකැමැති ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න සාමාජිකයන්ට පක්ෂයේ නායකත්වය කිසිදා බලපෑම් කරන්නේ නැහැ. ස්ථිර වශයෙන්ම ඊළඟ ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. ඒ අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. ඒ වගේම මැතිවරණ සලකුණ පොහොට්ටුව.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා සහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, පළාත් සභා මන්ත්‍රිවරුද එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon