මධුෂ්ලා බලන්න ලංකාවේ නීතිඥයන්ට අද අවසර

  👤  2816 readers have read this article !
By mawbima 2019-02-12

චාමර අමරසූරිය

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටින කුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා හමුවීම සඳහා මෙරටින් එරටට ගොස් සිටින නීතිඥවරුන්ට අද (12දා) දින අවසර හිමිවෙනු ඇති බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

බා ඩුබායි පොලිසියේ පැමිණිලි නිලධාරියා විසින් මෙම නීතිඥයන් වෙත මීට අදාළ දැනුම් දීම සිදුකර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නීතිඥවරුන් කිහිපදෙනකු මෙරට සිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවත් ඔවුන් අවස්ථා කිහිපයකදී බා ඩුබායි පොලිසියේ නිලධාරීන්ගෙන් සිය සේවාදායකයන් මුණගැසීමට අවස්ථාවන් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බවද එම ආරංචි මාර්ගයන් පවසයි.

එම ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බා ඩුබායි පොලිසියේ පැමිණිලි නිලධාරියා නීතිඥවරුන් හට මෙම අවස්ථාව ලබාදී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරචටත් කියයි.

එසේම ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සම්බන්ධ කර ගැනීමට 'මව්බිම'ට ඊයේ (11දා) හැකි වූ අතර ඔහු කියා සිටියේ තමා ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රොයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා එරටට පැමිණි බවයි.

බා ඩුබායි පොලිසිය වෙත තමා පෙරේදා (10දා) දින ගිය බවත් එහිදී අමල්, නදීමාල් සහ රයන් යන තිදෙනා සිර භාරයේ සිටිනු දුටු බවත් හෙතෙම කීය.

එනමුත් තමන්ට එම තිදෙනා සමඟ කතාබහ කිරීමට අවස්ථාවක් නොලැබුණු බවද නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් බා ඩුබායි පොලිසිය මෙම පිරිස් රඳවා තබාගෙන විමර්ශන සිදුකරන බවත් විමර්ශන අවසානයේදී සැකකරුවන් ඩුබායි මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් හෙතෙම කියා සිටියේය.

නමුත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන කාල සීමාව නිශ්චිතව කිව නොහැකි බවද ඔහු පැවැසීය.

විස මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනා පමණක් මෙම සැකකරුවන් හට ඇති බවත් ඒ සම්බන්ධයෙන් බා ඩුබායි පොලිසිය තුළ ස්ථාපිත අධිකරණයක් වෙත මේ වනවිටත් කරුණු වාර්තා කර ඇති බවද උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

හෙරොයින්, කොකේන් ඇතුළු විස මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනාවට එරට අධිකරණයෙන් හිමිවන අවම දණ්ඩනය වන්නේ අවුරුදු 3ක සිර දඬුවමක් බවත් විස මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව පමණක් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරටත් 'මව්බිම'ට අදහස් දක්වමින් කියා සිටියේය.

විස මත්ද්‍රව්‍ය පානය කිරීමේ වරදට ශ්‍රී ලාංකිකයකු අවුරුද්දයි මාස නවයක කාලයක් ඩුබායි පොලිසිය මඟින් රඳවා ගෙන ප්‍රශ්න කොට ඇති බවත් ඔහු මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර නවයක සිරදඬුවම් ලබා දී ඇති බවත් පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon