නිල්පනාගොඩ ගම්මු මිනුවන්ගොඩ පොලිසිය වටලති

  👤  2782 readers have read this article !
By mawbima 2019-02-12

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල,

කොළඹ - එම්. සී. පෙරේරා

කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බීමත්ව රාජකාරි පිස්තෝලය ඇතැතිව මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන්ට පහරදී යකා නැටීම හේතුවෙන් නොසන්සුන් වූ නිල්පනාගොඩ ප්‍රදේශවාසීන් සැකකාර පොලිස් කොස්තාපල්වරයාත් ඔහු පැමිණි යතුරුපැදිය සහ සේවා පිස්තෝලයත් සමඟ මිනුවන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා නිල්පනාගොඩ ප්‍රදේශයේ නිවෙසකට පැමිණ මත්පැන් සාදයකට සහභාගි වී යතුරුපැදියෙන් ආපසු යමින් සිටියදී නිල්පනාගොඩ ප්‍රදේශයේ තවත් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු කොට තිබේ. අනතුර සිදු වූ ස්ථානයට ප්‍රදේශවාසීන් පැමිණි අවස්ථාවේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා යතුරුපැදියේ සීට් එක යට ඇති බක්කියේ තිබූ පිස්තෝලයක් ගෙන පුද්ගලයන්ට මරණ තර්ජනය කරමින් පහරදී ඇති අතර සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට ගිය මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර පොලිස් කොස්තාපල්වරයාව මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පොලිස් කොස්තාපලවරයාව මිනුවන්ගොඩ දිසා රෝහලේ වෛද්‍යවරයකු වෙත පෙරේදා (10දා) රාත්‍රියේම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු බීමතින් සිටින බවට වෛද්‍ය පරීක්ෂණයෙන් සනාථ වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

සැකකාර කොස්තාපල්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් කුපිත වූ නිල්පනාගොඩ ගම්වාසීන් විශාල පිරිසක් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට පෙරේදා (10දා) රාත්‍රියේ පැමිණීම හේතුවෙන් ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ නියෝග මත ගම්පහ සහකාර පොලිස් අධිකාරි සේනාධිපති, ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතා ඇතුළු ගම්පහ, ගණේමුල්ල, නිට්ටඹුව යන පොලිස් ස්ථානවල පොලිස් කණ්ඩායම් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට කැඳවා තිබිණි.

පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර කිසිදු ආරවුලක් සිදු නොවූ අතර ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර සහ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ජීවක රාජපක්‍ෂ යන මහත්වරු ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඊයේ (11දා) අලුයම 2.30ට පමණ ප්‍රදේශවාසීහු පොලිස් ස්ථානයෙන් පිටව ගියහ.
පොලිස් කොස්තාපල්වරයාගේ සේවය ඊයේ සිට අත්හිටුවා තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයාව ඊයේ (11දා) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon